Wednesday, April 4, 2012

රට පුරා ග්‍රාම සේවක වසම් 14019ක “දිවි නැඟුම” තෙවන අදියර හෙට ආරම්භ කෙරේ

- ඇමැති බැසිල් රාජපක්‍ෂ

මහින්ද අලුත්ගෙදර

පවුලේ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කරන ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයේ ජාතික වැඩසටහන “දිවි නැඟුම” තෙවැනි අදියර හෙට (05) ආරම්භ වෙයි. “ඉසුරුමත් නිවහනක් – අසිරිමත් මවුබිමක්” තේමාව කරගත් මේ වැඩසටහනේ බීජ හා රෝපන ද්‍රව්‍ය සිටුවීමේ ජාතික වැඩසටහන දීප ව්‍යාප්තව හෙට ආරම්භ කෙරෙන අතර එය රටපුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14019 තුළම ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පෙරවරු 9.10 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කෙරෙන මෙම ජාතික වැඩසටහන සම්බන්ධයෙන් ඒ ඒ වසම්හි පහසුකාරකයින් වශයෙන් කටයුතු කරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කැඳවා දැනුවත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පෙරේදා (02) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙය දිවි නැඟුම ජාතික වැඩසටහනේ තෙවැනි අදියර වන අතර මීට පෙර පැවැති අදියර දෙක අතිශය සාර්ථක වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ අදියරේදී එක් ග්‍රාම සේවා වසමකින් පවුල් 150 ක් බැගින් තෝරාගෙන ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 25 ක් ඉලක්කය වී තිබෙන බව ද, එය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය බව ද සඳහන් කළේය.

දිවි නැඟුම ජාතික ව්‍යාපාරය අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වන බව ද, කෘෂිකාර්මික කටයුතු, පශු සම්පත් හා ධීවර සහ ගෘහ ආශි‍්‍රත කර්මාන්ත යන අංශ ඊට අයත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය කරා යමින් අපනයනය ඉලක්ක කර තිබෙන බව ද, මෙරට ගෘහස්ථව නිෂ්පාදනය කළ හැකි කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවධානය යොමු වී තිබෙන බව ද ප්‍රකාශ කළ බැසිල් රාජපක්ෂ මහතා, පශු සම්පත් අංශය මෙන්ම අනෙකුත් අංශ කෙරෙහිද අවධානය යොමු කරමින් ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 500 ක් ආනයනය කළ බව ද, මේ සියල්ලෙන්ම රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණ බව ද කීවේය.

දිවි නැඟුම තෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෑම ග්‍රාම සේවා වසමක් වෙතම පහසු කාරකයින් තිදෙනා බැඟින් යොමු කරවා ඇති බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් එක් අයෙකු අවමය පවුල් 50 ක් හෝ ඒකරාශී කරගෙන රට පුරා ස්ථාන 42000 කදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා බීජ, පැළ බෙදාදීම සිදු කෙරෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක් මේ වෙනුවෙන් සම්බන්ධ වන බව සඳහන් කළ ඇමැතිවරයා ඊට අමතරව මෑතකදී උපාධි ලැබූ තරුණ තරුණියන්ද මේ සඳහා විශාල සහයෝගයක් ලබාදෙන බව කීවේය.

මීට පෙර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ ආකාරයට වඩා වෙනස් ආකාරයෙන් මෙවර ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඇමැතිවරයා මෙවර එළවළු පැළවලින් ඊළඟ කන්න සඳහා බීජ නිෂ්පාදනය කර ගැනීම, බීජ පැළ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු, තවන් දමා පැළ කරගන්නා ඇට වර්ග 05 ක් හා පැළ සිටුවන ඇට වර්ග 05 ක් ලබාදීම, ජාතික සමඟිය වර්ධනය වන පැළ වර්ග බෙදාදීම ආදිය ඒ අතර වන බවද සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් වන ජනතා ප්‍රතිචාරය ඉතාම ඉහළ මට්ටමක පවතින බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙළේය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන අතාවුද සෙනෙවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු, ඒ. එච්. එම්. ෆවුසි, කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.


http://www.dinamina.lk/2012/04/04/_art.asp?fn=n1204042

No comments:

Post a Comment