Saturday, April 14, 2012

දඹුල්ලේ එළවළු කිලෝවක තොග මිල රු. 25 ට බසී

ගොවියෝ අසරණ වෙති

කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල


මෙවර අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීමට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයට ගෙන එමින් පවතින එළවළු කිලෝ ලක්‍ෂ ගණනක මිල පහළ යැම නිසා ගොවීහු දහස්‌ ගණනක්‌ දැඩි කම්පනයට පත්වී සිටිති.

ඊයේ (09 දා) සවස වනවිට එළවළු වර්ග රැසකම කිලෝවක තොග මිල රුපියල් විසිපහට වඩා අඩු වූ අතර ගෝවා කිලෝවක්‌ රුපියල් පහකට වඩා අඩුවිය. අනෙකුත් එළවළු රැසකම සාමාන්‍ය මිල රුපියල් 10 - 15 අතර විය. එම එළවළු තොග ආර්ථික මධ්‍යස්‌ථානයට ඇතුළු කිරීමට පැය තුනකට වඩා ගතවූ බව ගොවීහු පැවසූහ. ලොරි පෝලිම බස්‌ නැවතුම්පළ දක්‌වා තිබිණි. ආර්ථික මධ්‍යස්‌ථානය අසලින් වෙනත් රථවාහන විකල්ප මාර්ග හරහා පොලිසිය විසින් හරවා යවනු ලැබිණි.

අතිරික්‌ත එළවළු තොග කොළඹ මැනිං වෙළෙඳපොළට යෑවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක්‌ ඇති බවක්‌ ද පෙනෙන්නට නොතිබිණි.

මේ සම්බන්ධයෙන් ගොවීහු සියලුම දෙනා දැඩි ශෝකයෙන් අදහස්‌ දැක්‌වූහ. මාධ්‍යවේදීන් ඔවුන්ගේ ඡායාරූප ගන්නා විට ද "පුළුවන් දෙයක්‌ කරැන්නැයි" කෑ ගසා ඉල්ලූහ.

උතුරෙන් පැමිණි ලොරි රථ රියෑදුරන් පැවසුවේ මෙම පාඩුව දරාගත නොහැකි බවයි. එහෙත් වෙළෙන්දොa උතුරේ එළවළු මිලදී ගැනීමට දැඩි කැමැත්තක්‌ දැක්‌වූහ.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ආර්ථික මධ්‍යස්‌ථාන කළමනාකරු ක්‍රිස්‌ටි විඡේරත්න මහතා පැවසුවේ පෙරේදා (9 දා) ලොරි දහසක්‌ පමණ පැමිණි බවයි. ඒ අනුව පැමිණි එළවළු ප්‍රමාණය කිලෝ ලක්‍ෂ තිහකට වැඩිවේ.

මේ වසරේ මිල පහළයැම වෙනත් වසරවලට වඩා වැඩි බව ද ඒ මහතා පැවැසීය. කළමනාකරණ භාරයේ එළවළු දෛනික තොරතුරුවලට වඩා මිල ගණන් පහළයැම පිළිබඳ විමසූ විට ක්‍රිස්‌ටි විඡේරත්න මහතා පැවසුවේ පෙරවරුවේ මිල ගණන්වලට වඩා සවස මිල වෙනස්‌වන බවයි.

ලොරි රථ මහමඟ පෝලිම් ගැසී ඇති අයුරු, ගොවීන් ලොරි මත නැගී එළවළු අලෙවි කිරීමට උත්සාහ කරන අයුරු සහ ඉතිරි තොග ලොරි මත ගොඩගැසී ඇති අයුරු.

ආර්ථික මධ්‍යස්‌ථානය නිකුත් කළ ඊයේ එළවළු මිලගණන් මෙසේය. බටු 15 - 30, මෑකරල් 10-15, පතෝල 12 - 20, කරවිල 15 - 20, එළබටු 10-15, වට්‌ටක්‌කා 8-10, දඹල 20-30, අමුමිරිස්‌ 30-50, තක්‌කාලි 20 - 30, වැටකොළු 35 - 40.


http://www.divaina.com/2012/04/12/news08.html

No comments:

Post a Comment