Thursday, April 5, 2012

සරසවි විද්‍යා සිසු සංඛ්‍යාව 50% දක්වා වැඩි කරනවා

- උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

සමන්මලී ප්‍රියශාන්ති

විශ්වවිද්‍යාලවල විද්‍යා විෂය හදාරන සිසුන් සංඛ්‍යාව තව වසර පහකින් සියයට 50 ක් දක්වා වැඩි කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැලැසුම් කර තිබේ.

වාණිජ විෂයයන් හදාරන සිසුන් පිරිස සියයට 30 ක් දක්වා වැඩි කිරීමටත් කලා විෂයයන් හදාරන සිසුන් පිරිස සියයට 20 ක් දක්වා අඩු කිරීමටත් අමාත්‍යාංශය විධිවිධාන යොදා තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාලවල කලා විෂය හදාරන සිසුන් සියයට 53 ක් වන අතර වාණිජ හා කළමනාකරණ විෂය හදාරන සිසුන් පිරිස සියයට 25 කි. සියයට 22 විද්‍යා විෂයයන් හදාරති.

සිසුන් මේ තත්ත්වයට පත්ව ඇත්තේ මෙරට ප්‍රාදේශීය මට්ටමේ පාසල්වල පවතින අඩුපාඩු නිසා බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවසීය. මේ තත්ත්වය අවම කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අමාත්‍යාංශ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ.

ඒ අනුව උසස් තාක්ෂණ ආයතනවල කලා හා වාණිජ විෂයයන් හදාරන සිසුන් විද්‍යා හා ඉංජිනේරු විෂයයන්ට යොමු කිරිමේ වැඩපිළිවෙළක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

මේ වන විට විද්‍යා උසස් පෙළ විෂය නොමැති පාසල් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72 ක් මෙරට තිබෙන අතර විද්‍යා විෂය ඉගැන්වෙන එක් පාසලක් හෝ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100 ක් ඇති බවත් දිසානායක මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම මතද ක්‍රියාත්මක කරයි. ලෝකයේ ඉල්ලුමට සරිලන අධ්‍යාපන ක්‍රමවේදයක් ලබාදීම රජයේ මුලික වගකීම බවත් ඒ අරමුණ ඇතිව තව වසර 5 කට පසු විශ්වවිද්‍යාලවල මේ වෙනස සිදු කරන බවත් ඒ මහතා කීවේය. නවීන ලෝකයට ගැලපෙන පරිදි අපේ අධ්‍යාපනය සකස් කිරීමට නම් උසස් අධ්‍යාපනය තුළ විශාල වෙනසක් ඇති කළ යුතු යැයි ද දිසානායක මහතා පැවසීය.

අපි විශ්වවිද්‍යාල දරුවන් ලෝකය ඉල්ලන මහා විද්‍යාර්ථීන් බවට පත් කළ යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීය.


http://www.dinamina.lk/2012/04/05/_art.asp?fn=n12040512

No comments:

Post a Comment