Thursday, April 5, 2012

ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ සිදුවූ රුපියල් බිලියනයක "ග්ලවුස්‌" මගඩියක්‌!

රෝහල් පිළිවෙත ගැන වෘත්තීය සමිති සන්ධානයෙන් චෝදනා

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වලට අවශ්‍ය ශල්‍ය හා සාමාන්‍ය අත්වැසුම් (ග්ලවුස්‌) සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ ගැනීමේදී පසුගිය වසරේ (2011) රුපියල් බිලියනයක මුදල් වංචාවක්‌ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මෙම මුදල් වංචාව හේතුවෙන් 2010 වසරට වඩා රුපියල් බිලියන 1.05 ක අමතර මුදලක්‌ අත්වැසුම් මිලදී ගැනීම සඳහා 2011 වසරේදී වැය කිරීමට සිදුව ඇතැයි ඔවුහු සඳහන් කළේය.

අත්වැසුම් මිලදී ගැනීමේදී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකරමින් සැලසුම් සහගතව ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ සිදුකර ඇති මෙම මුදල් වංචා පිළිබඳව කඩිනම් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ සිදුකර එයට වගකිවයුත්තන් රටට හෙළිදරව් කරන ලෙස තම සන්ධානය විසින් ඉකුත් මාර්තු 29 වැනිදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිත ඉල්ලීමක්‌ භාරදුන් බවද රත්නප්‍රිය මහතා කීවේය.

මෙතෙක්‌ රජයේ රෝහල් සඳහා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ ටෙන්ඩර් කැඳවා රුපියල් 20-23 අතර මිලකට ගත් ශල්‍ය අත්වැසුම් (සර්ජිකල් ග්ලවුස්‌) යුගලක්‌ පසුගිය වසරේදී (2011) සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් මිලදී ගෙන ඇත්තේ යුගලක්‌ රුපියල් 45 ක්‌ බැගින් වූ මිලකට බව පෙන්වා දුන් හෙතෙම කොළඹ ජාතික රෝහල විසින් එම වසරේදී මෙම ශල්‍ය අත්වැසුම් යුගලක්‌ රුපියල් 67 ක්‌ වැනි අධික මිලකට ගෙන ඇති බව අවධාරණය කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හා සැපයුම්කරුවන් විසින් ඒකාබද්ධව මූල්‍ය වංචාවක්‌ සිදුකර ඇති බව පැහැදිළි වන බවද ඔහු පවසයි. මේ යටතේ සාමාන්‍ය අත්වැසුම් රජයේ රෝහල්වලට සැපයීමේ ටෙන්ඩරය භාර දුන් බෙහෙත් සමාගම විසින් වෛද්‍ය සැපයිSම් අංශයට එම අත්වැසුම් නිසි පරිදි නොසපයමින් වැඩි මිල ගණන්වලට ජාතික රෝහලට අත්වැසුම් සපයා ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා චෝදනා කරයි.

මේ අනුව රුපියල් 2.50 බැගින් මිලදී ගත හැකි සාමාන්‍ය අත්වැසුම් යුගලක්‌ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුම මත රුපියල් 7.68 සිට 7.80 වැනි අධික මුදලකට අදාළ සැපයුම්කරු ජාතික රෝහලට සපයා දී ඇති බව අනාවරණය වී තිබේ.

රජයේ රෝහල්වලට අත්වැසුම් මිලදී ගැනීම සඳහා 2010 වසරේදී රුපියල් බිලියන 0.95 ක්‌ (මිලියන 950 ක්‌) වැය වී ඇති අතර 2011 වසරේ සිදුවූ අදාළ මුදල් වංචාව හේතුවෙන් අත්වැසුම් වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක්‌ වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූ බව රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2012/04/05/news01.html

No comments:

Post a Comment