Friday, April 6, 2012

මාතර පාසල්වල ගෙවතු වගා සාර්ථකයි

මාතර සංචාරක - සිරි වාව්වගේ

මාතර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් මාතර දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල ක්‍රියාත්මක කරන ලද පාසල් කෘෂිකර්ම වැඩසටහන අපේක්‍ෂිත ඉලක්කයට වඩා බෙහෙවින් සාර්ථක වී තිබේ.

වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබූ පාසල් භූමි රැසක්ම සාර්ථක ගෙවතු වගා බවට පත්වී තිබේ.

මහ විද්‍යාලයේ පටන් කුඩා කනිටු විද්‍යාල පවා පාසල් කෘෂිකාර්මික ගෙවතු වගා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර තිබුණි. බොහෝ පාසල්වලට නළ ජලය ලබා දී තිබීම නිසා පාසලේ වගා කටයුතු සාර්ථකව කරගෙන ගිය අතර නළ ජලය නොමැති පාසල්වල තිබූ ළිංවල ජලය යොදා වගාව රැකගැනීමට හා නඩත්තු කිරීම වඩාත් හොඳීන් කර තිබිණි.


පාසල් අතර වගා තරග ද පවත්වන ලදී.

මෙවැනි වගාවලින් නෙළාගත් අස්වැන්න අලෙවි කර ඉන් ලැබුණු ආදායම ද පාසල්වල සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවිණි.

2011 වසර අවසන් වන විට කිසිදු වගාවක් නොකර තිබූ දිස්ත්‍රික්කයේ පාසල් භූමි සතු ඉඩම් දළ වශයෙන් අක්කර 300ක් පමණ විය. එවැනි ඉඩම් පාසල් කෘෂිකාර්මික ගෙවතු වගා වැඩසටහනට දායක කර ගැනීමට මාතර නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලයට හැකි වී තිබේ.


දිස්ත්‍රික්කයේ කෘෂි උපදේශක කොට්ඨාසවල සේවය කළ සියලුම කෘෂිකාර්මික උපදේශකවරු මේ ව්‍යාපෘතිය අධීක්‍ෂණය කිරීම නිසා එහි සාර්ථකත්වය ළඟාකර ගැනීමට ද විදුහල්පතිවරුන්ට හැකි වී තිබේ.

http://www.dinamina.lk/2012/04/06/_art.asp?fn=r1204063

No comments:

Post a Comment