Saturday, April 7, 2012

වී මිල වැඩි නොකළොත් පොළොන්නරුවේ අලූත් සහල් මංගල්‍යය වර්ජනය කරනවා

- ඒකාබද්ධ ගොවි සන්ධාන එකමුතුව කියයි

හිඟුරක්‌ගොඩ - අතුල සූරියබණ්‌ඩාර,
පොළොන්නරුව - කරුණාරත්න ගමගේ,
මින්නේරිය - සුජිත් කරුණාතිලක

රජය ගොවීන්ට පොරොන්දු වූ පරිදි වී මිල වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් රජය මගින් අද (7 දා) පොළොන්නරුව ගල් විහාරය අබියසදී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය වර්ජනය කරන බව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව පවසයි.

රජය වී මිල වැඩි කිරීමට සියලු එකඟතාව පළකර පසුව දැන් ගොවීන් සතුව වී නැතැයි පවසමින් වී මිල වැඩි කිරීම කල්දමා ඇති බවත් එය අමූලික බොරුවක්‌ බවත් පවසන ගොවි සංවිධාන එකමුතුව සඳහන් කරන්නේ 80% ක්‌ පමණ ගොවීන් සතුව තවමත් වී තොග ඇති බවයි. වී විකුණාගත නොහැකිව ගොවීන් ළතැවෙද්දී පවත්වන අලුත් සහල් මංගල්‍යය ඵල රහිත බව පවසන ඔවුහු ඊට තමන් සහභාගි නොවන බවද කියා සිටියි.

රජයේ විවිධ පාර්ශ්වයන් සමග දස වතාවක්‌ සාකච්ඡා කළ බවත්, වී මිල වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව තීරණය කර තිබියදීත් එය කල්දමා ඇත්තේ කාගේ වුවමනාවකට දැයි ගොවි සංවිධාන එකමුතුව ප්‍රශ්න කරයි.

තමන් අලුත් සහල් මංගල්‍යය වර්ජනය කරනවා සේම අලුත් අවුරුදු නැකත් දිනයදා මාරාන්තික ගොවි උපවාසයක්‌ ආරම්භ කරන බවද ගොවි සංවිධාන එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගොවි සංවිධාන එකමුතුව මෙම තොරතුරු සඳහන් කළේ ඊයේ (06 දා) දහවල් හිඟුරක්‌ගොඩ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාව සඳහා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මින්නේරිය, කවුඩුල්ල, පරාක්‍රම සමුද්‍රය, ඇලහැර යන ගොවි ව්‍යාපාරවල සභාපතිවරු ඇතුළු ගොවි නියෝජිතවරු කීප දෙනකු සහභාගි වූහ.


http://www.divaina.com/2012/04/07/news15.html

No comments:

Post a Comment