Thursday, April 5, 2012

භාණ්ඩ ප්‍රවාහනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට හාරකෝටි විසිහතර ලක්ෂයක ආදායමක්

නිමල් රාජපක්ෂ

භාණ්ඩ ප්‍රවාහනයෙන් පමණක් පසු ගිය වසර තුළ හාරකෝටි විසිහතර ලක්ෂ දහහත්දාස් පන්සිය හැට හතරක අදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට කොළඹ බඩු ගබඩා අංගණය උපයාදී ඇත.

කලක් වල්බිහිවී තිබු කොළඹ බඩු ගබඩා අංගණය ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම හා දුම්රිය සාමාන්‍යාධිකාරි ඩි.ඒ.පී ආරියරත්න මහත්වරුන්ගේ උපදෙස් මත නවීකරණය කෙරිණ.නවීකරණය වීමත් සමඟ කොළඹ බඩු ගබඩා අංගණයෙන් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය විධිමත් කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්.ඒ.ආර් රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ තෙල්මිල ඉහළ යාමත් සමඟ සියලුම ප්‍රවාහන ගාස්තුවල වැඩි වීමක් සිදුවිය.නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ඉහළ නොදමා ඇත්තේ ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහාය.

රාජ්‍ය ආයතනවල භාණ්ඩ, යුද හමුදාවේ යන්ත්‍රෝපකරණ , සිමෙන්ති හා පෞද්ගලික අංශයේ භාණ්ඩ වැඩි වශයෙන් ප්‍රවාහනය කෙරෙනුයේ දුම්රියෙනි. කොළඹ බඩු ගබඩා ඒජන්ත(අධිකාරී)වරයාගේ දැඩි කැපවීම මත වවුනියාව, බදුල්ල, මාතර, පුත්තලම,ත්‍රිකුණාමලය හා මඩකළපුව යන දුම්රිය ස්ථානවලට භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන බවද රත්නායක මහතා පැවසිය.

දුම්රිය දෙපාර්තමේන්තුව නව මාර්ග පද්ධතියේ වැඩ නිමවීමත් සමඟ ජනතාවට හොඳ භාණ්ඩ ප්‍රවාහන සේවයක් ලබා දීමෙන් දෙපාර්තමේන්තුවේ අදායම ඉහළ දැමිමට හැකිවන බවද රත්නායක මහතා දිනමිණට පැවසීය.


http://www.dinamina.lk/2012/04/05/_art.asp?fn=n1204059

No comments:

Post a Comment