Sunday, April 15, 2012

රියෑදුරු අභිවෘද්ධි ලකුණු ක්‍රමය කඩිනමින් එයි!

උපාලි ද සේරම්

වාහන රියෑදුරු බලපත්‍ර සඳහා හඳුන්වා දුන් අභිවෘද්ධි ලකුණු ක්‍රමය ඉතා ඉක්‌මනින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ එස්‌. එච්. හරිශ්චන්ද්‍ර මහතා "දිවයින" ඉරිදා සංග්‍රහයට පැවැසීය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ පරිගණක මිලදීගැනීම සඳහා පියවර ගෙන ඇති බවත් අභිවෘද්ධි ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්‌ථානය වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තු කාර්යාලය හා ඒකාබද්ධව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පිහිටුවනු ලබන බව ද කෙමසාරිස්‌වරයා කීවේය.

අභිවෘද්ධි ක්‍රමය අනුව රියෑදුරන් අතින් සිදුවන වැරැදි සඳහා දඬුවම් ලකුණු එකතු වේ. වසර දෙකක්‌ ඇතුළත මෙම දඬුවම් ලකුණු ප්‍රමාණය 24 ක්‌ බවට පත්වුවහොත් එම රියෑදුරන්ගේ රියෑදුරු බලපත්‍ර මසක කාලයක්‌ සඳහා අත්හිටවනු ලැබේ.

දඬුවම් ලකුණු සංඛ්‍යාව 18 ට වැඩිවූ විට ඒ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌වරයා අදාළ රියෑදුරන්ට ලිඛිතව දැනුම් දෙනු ඇත.

මෙම දඬුවම් ලකුණු වනුයේ අනතුරක්‌ වැළැක්‌වීමට උත්සාහ නොකිරීමට ලකුණු 06 ක්‌ ද අවදානම් සහිත ස්‌ථානවල වේගයෙන් ධාවනයට ලකුණු 08 ක්‌ද අධිවේගී මාර්ගයේ නොසැලකිලිමත්ව ධාවනය ලකුණු 08 ක්‌ද අනතුර සිදුවූ පසු නොනැවතී ධාවනය කිරීමට ලකුණු 10 ක්‌ද අනතුරක්‌ සිදුවූ පසු ළඟම පොලිසියට නොදැන්වීමට ලකුණු 10 ක්‌ද වේගසීමා අභිබවා ධාවනයට ලකුණු 06 ක්‌ද වම් ධාවන තීරුවේ ධාවනය නොකිරීමට ලකුණු 02 ක්‌ද මාර්ගය පැහැදිලි නැතිවිට වැරදි අයුරින් ඉස්‌සර කිරීමට ලකුණු 06 ක්‌ද වැරදි පැත්තෙන් ඉස්‌සර කිරීමට ලකුණු 04 ක්‌ද දකුණු පස වාහනයට ඉඩ නොදීමට ලකුණු 04 ක්‌ද හේතුවක්‌ නැතිව අධිවේගී මාර්ගයේ දිගු දුරක්‌ පසුපසට පැදවීමට ලකුණු 04 ක්‌ද, මාර්ග සලකුනු නොතැකීමට ලකුණු 06 ක්‌ද, පොලිස්‌ සලකුණු දැක්‌වීම් හා වාචික විධාන නොතකා හැරීමට ලකුණු 06 ක්‌ද, නියමිත පරිසර පරීක්‍ෂණයෙන් අසමත් වාහන ධාවනයට ලකුණු 06 ක්‌ද නියමිත ශබ්දයන්ට වඩා වැඩි හඬ නඟා වාහන ධාවනයට ලකුණු 06 ක්‌ද තහනම් තැන්වල නළා ශබ්ද කිරීමට ලකුණු 06 ක්‌ද ප්‍රමිතියෙන් තොර වාහන ධාවනයට ලකුණු 10 ක්‌ද, ආසනපටි නෙපැළඳීමට ලකුණු 03 ක්‌ද තහනම් ස්‌ථානවල වාහන ඉස්‌සර කිරීමට ලකුණු 04 ක්‌ද කහ ඉර අසල වාහන නැවැත්වීම අසමත්වීමට ලකුණු 06 ක්‌ද හෙල්මට්‌ නොමැතිව යතුරුපැදි පැදීමට ලකුණු 04 ක්‌ද, ජංගම දුරකථන පරිහරණය කරමින් ධාවනයට ලකුණු 04 ක්‌ද ලෙසින් මෙම දඬුවම් ලකුණු තීරණය කර ඇත.

මෙම අභිවෘද්ධි ලකුණු ක්‍රමය නව රියෑදුරු බලපත්‍ර සඳහා පමණක්‌ නොව පැරණි රියෑදුරු බලපත්‍ර සඳහාද වලංගු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2012/04/15/news05.html

No comments:

Post a Comment