Tuesday, April 17, 2012

වෛද්‍යවරුන්ට සති අග නිවාඩු ලබා දීම සුදුසුයි

නියාමක ව්‍යාපෘතියකින් පැවසෙයි

සන්ධ්‍යා කරුණාරත්න

සතියේ දින පහ පමණක් සේවය කර සෙනසුරාදා, ඉරිදා නිවාඩු ලබා සේවයට වාර්තා කිරීම මගින් රෝගීන්ට ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ගුණාත්මක බව සමීක්ෂණයකින් හෙළිව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ නිසා සෙනසුරාදා, ඉරිදා දෙදින වෛද්‍යවරුන්ට රජයේ නිල නිවාඩු දින ලෙස නම් කිරීමට සුදුසු බව නියාමක ව්‍යාපෘතියකින් වාර්තා වී ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රකාශ කරයි.

සෙනසුරාදා, ඉරිදා දෙදින වෛද්‍යවරුන්ට නිල නිවාඩු ලෙස නම් කිරීමෙන් රෝගීන් බැලීමේ සංඛ්‍යාව, ශල්‍යකර්ම සිදුකරන සංඛ්‍යාව අඩු වනු ඇති බවට සැකයක් මතුව තිබුණ බවත්, එහෙත් මේ නියාමක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව එවැනි දෙයක් සිදු නොවන බවට වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවැසුවේය.

රෝගීන් බැලීමේ ප්‍රමාණය හා ශල්‍යකර්ම සිදුකරන ප්‍රමාණය අඩු නොවන විදියට පොරොත්තු රාජකාරි (On call) සේවාව සඳහා වෛද්‍යවරුන් යෙදවීම සිදු කරන බව ද වෛද්‍ය පාදෙනිය මහතා කීය.

සෙනසුරාදා, ඉරිදා දෙදින රාජකාරි නිවාඩු සිට සඳුදා දිනයේ වෛද්‍යවරුන් සේවයට වාර්තා කිරීම රෝගීන්ට ගුණාත්මක සේවයක් සැලසීමට හේතු වන බව ද හෙතෙම පැවැසීය.

මේ ක්‍රමයේ සාර්ථකත්වය මත වයඹ පළාතේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට සෙනසුරාදා, ඉරිදා දෙදින රජයේ නිල නිවාඩු ලෙස නම් කිරීමට එම පළාත් සභාව කටයුතු කර තිබේ. මේ ක්‍රමය රට පුරා රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සඳහා ක්‍රියාත්මක කිරීම මඟින් රෝගීන්ට ගුණාත්මක සේවයක් සැලසීමට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ලෝකයේ සෙසු රටවල වෘත්තියවේදීන් වන වෛද්‍යවරුන්ට සෙනසුරාදා, ඉරිදා දෙදින නිල නිවාඩු දින ලෙස නම් කර තිබෙන බව ද ඒ මහතා පැවැසුවේය.


http://www.dinamina.lk/2012/04/17/_art.asp?fn=n1204175

No comments:

Post a Comment