Friday, April 6, 2012

පාරිසරික සංචාරක කර්මාන්තය අපේ ජෛව උරුමය වළ පල්ලට යවයි ද?


වසර තිස්‌ ගණනක්‌ තිස්‌සේ අප රට වෙළාගෙන තිබූ ශාප ලත් ත්‍රස්‌තවාදී යුද්ධයෙන් අනතුරු ව මෙරට සංවර්ධනයේ අරුණලු සොයා යැමට කටයුතු ආරම්භ වී ඇති බව නො කිවමනා ය. මෙරට සංවර්ධනය කිරීමේ පදනම ලෙස සංචාරක කර්මාන්තයේ විභවයන් හඳුනාගෙන ඇති රජය අද වන විට නොයෙකුත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඔස්‌සේ මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පදනම ලෙස අප රටට උරුම අග්‍රගණ්‍ය ජෛව උරුමය සේ ම වසර දෙ දහස්‌ පන් සියයකට එහා ගිය ප්‍රෙෘඪ ඉතිහාසය භාවිත කිරීමට අපට ඇත්තේ, ඉතා විශාල විභවයකි. පාරිසරික සංචාරක කර්මාන්තය වැනි නවීන තාක්‍ෂණික වදන් පවා අද වන විට මෙරට සංචාරක ව්‍යාපාරයේ වාග් කෝෂයට අඩුවක්‌ නොමැති ව එක්‌ ව ඇත්තේ, එහෙයිනි. එහෙත්, දීර්ඝකාලීන සැලසුම්සහගත වැඩපිළිවෙළින් හෝ නියමාකාර නියාමනයකින් තොර ව අද වන විට සිදු කෙරෙමින් පවත්නා පාරිසරික සංචාරක කර්මාන්තය අපේ ජෛව උරුමය තවදුරටත් කබලෙන් ලිපට ඇද දැමීමට හේතු වේ දො යි යන සැකය අද වන විට අප තුළ මතු ව ඇති බව අවධාරණය කළ යුතු ය.

සිංහරාජය වැනි අතිශය වැදගත් සදාහරිත වැසි වනාන්තර පියසෙහි ම ජාන පර්යේෂණාගාර තනන්නට කටයුතු කෙරුණු රටක සිට අප අප ගේ පාරිසරික උරුමයන් විදේශ විනිමය ඉපයීම සඳහා දඩමීමා කරගැනීමට වෙර දරන බව නො කියා ම බැරි ය. එවැනි පසුබිමක දී පසුගිය දා ඉතිහාසයේ මුල් ම වතාවට විදෙස්‌ රටවල් වැඩි ම ගණනක ජාන හොරුන් පිරිසක්‌ ලක්‌ දෙරණ මත දී නීතියේ

රැහැනට හසු වීම තුළ අපට යළි යළිත් විමසා බැලීමට ඇති ප්‍රශ්නය වන්නේ පාරිසරික සංචාරක කර්මාන්තයේ නාමයෙන් අප ගේ ජෛව උරුමයන් දංගෙඩියට යැම වැළැක්‌විම සඳහා අප සතු ව නිශ්චිත, වඩාත් විද්‍යාත්මක වැඩපිළිවෙළක්‌ ඇති ද යන්න ය.

පසුගිය වසර 50-60ක පමණ කාල පරාසය තුළ දී සිදු වූ ප්‍රවාහන සහ සන්නිවේදන පහසුකම්වල වර්ධනයත් සමග ම තම විවේක කාලය විවිධ සංචාරයන් වෙනුවන් වැය කිරීම සඳහා ජනතාව වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නට වූ හ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට සංචාරක ව්‍යාපාරය සෙසු කර්මාන්ත බොහොමයක්‌ අභිබවා ලොව විශාලතම කර්මාන්තයක්‌ බවට වර්ධනය වී හමාර ය. ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 10%ක්‌ පමණ ජනනය කරන මේ කර්මාන්තය සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ආහාර සඳහා කරන වියදමට පසුව ලෝක ජනතාව ගේ විශාලතම වැය ශීර්ෂය බවට පත් වී ඇත. සංචාරක ව්‍යාපාරයේ මෑතකාලීන විකාශනය හා වර්ධනය දෙස බැලූ කල පෙනී යන්නේ, සංචාරකයන් ගෙන් බහුතරය විවිධ විශේෂ අරමුණු සඵල කරගැනීම සඳහා සංචාරයෙහි නියෑළෙන බව ය. විවිධ විනෝදකාමී ක්‍රියා, ක්‍රීඩා, විවිධාකාර සංස්‌කෘතීන් හැදැරීම, ස්‌වාභාවික පරිසරය නැරඹීම සහ හැදැරීම මින් ප්‍රධාන තැනක්‌ ගනී. ශ්‍රී ලංකාවේ ද ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය අතිමහත් බව නො කිව මනා ය.

1995 වසරේ දී සකස්‌ කරන ලද සංචාරක කර්මාන්තය සඳහා වූ මහා සැලැස්‌ම මඟින් සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා වැදගත් විය හැකි යෝජනා ගණනාවක්‌ ගෙන එන ලදී. ඒ සඳහා සංචාරක අංශයේ නිෂ්පාදන සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණ දියුණු කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය, නව සංචාරක ආකර්ෂණ හඳුන්වා දීම යනාදී ක්‍රමෝපායයන් යෝජනා විය. එමෙන් ම එම සැලැස්‌ම මඟින් ද රටේ සංස්‌කෘතිය, ස්‌වාභාවික සෞන්දය්‍ය හා විවිධත්වය පදනම් කරගෙන සංචාරක කර්මාන්තය දියුණු කිරීම ද අවධාරණය කර ඇත. එහෙත්, 1982 සිට මෑතක්‌ වන තුරු ම ලංකා සංචාරක මණ්‌ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවලට අනුව විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම සැලකිය යුතු වර්ධනයක්‌ පෙන්වා නො තිබිණි. ඊට ඉකුත් යුධමය වාතාවරණයට ද යම්කිසි බලපෑමක්‌ එල්ල කරන්නට ඇත. එමෙන් ම සෘජු හා වක්‍ර රැකියා උත්පාදනය සම්බන්ධයෙන් ද ඉකුත් දශකයක පමණ වාර්තා එපරිදි ය.

මේ තත්ත්ව වෙනස්‌ කර මෙරටට පැමිණෙන විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා අප රට සතු ව ඇති ඉතා ම සරල සහ පහසු ම ක්‍රමවේදය පාරිසරික සංචාරක කර්මාන්තය බව නො කිව මනා ය.

පාරිසරික සංචාරක කර්මාන්තය ඉතා සරල ව පරිසරය පදනමෙහි පවත්වාගෙන සිදු කරන සංචාරක කර්මාන්තයක්‌ ලෙස හැඳින්විය හැකි ය. මේ පිළිබඳ ව විවිධ අර්ථකථන රැසක්‌ ඇත. එය ස්‌වාභාවික පරිසර පද්ධතීන් තුළ සිදු කරන වගකීමක්‌ සහිත සංචාරයක්‌ විය යුතු අතර එම සංචාරයෙන් පරිසර සංරක්‍ෂණයටත් එම ප්‍රදේශයේ සිටින ප්‍රජාව ගේ සුබ සිද්ධියටත් දායකත්වය ලැබිය යුතු ය. තව ද, එමඟින් පරිසර පද්ධතීන් පිළිබඳ ව දැනුවත් වීම හා එම පරිසර පද්ධති තිරසාර ලෙස කළමනාකරණය ද සිදු විය යුතු ය. මේ අනුව තවදුරටත් විග්‍රහ කළ හොත් පාරිසරික සංචාරක කර්මාන්තය යනු, ස්‌වභාවධර්මය පාදක කරගත් හා ස්‌වාභාවික පරිසර පද්ධතිවල තිරසාර පැවැත්මට ද දායක වන සංචාරක කර්මාන්තයක්‌ විය යුතු ය.

එහෙත්, ශ්‍රී ලංකාව තුළ අද වන විට ස්‌වාභාවික පරිසර පද්ධතීන් සිසාරා සිදු කෙරෙන සංචාරක කර්මාන්තයෙන් මෙකී සියලු අරමුණු ඉටු වනවා ද යන්න ගැටලුසහගත ය. ඒ වෙනුවට වර්තමානයේ දී සිදු වන්නේ, පාරිසරික සංචාරක කර්මාන්තය යන වදන දඩමිමා කරගෙන අතළොස්‌සක්‌ පිරිස එහි ප්‍රතිලාභ ලබාගැනීම සහ දිනෙන් දින ම මෙරට ස්‌වාභාවික උරුමයන් වළ පල්ලට යැම නො වේදැ යි නො විමසා ම බැරි ය.

සංචාරකයන් ගේ පැමිණීම ඉහළ යැමත් සමග ම ඔවුන්ට අවශ්‍ය වන නේවාසික පහසුකම් සැපැයීම සඳහා හෝටල් හා සංචාරක බංගලා ඉදි කිරීම ද අනිවාය්‍ය කාරණයකි. එහෙත්, මෙහි දී අප ගේ ස්‌වාභාවික පරිසර පද්ධතින් විනාශ විය හැකි අයුරින් මෙකී ඉදි කිරීම් සිදු නො කිරීමට අප වග බලා ගත යුතු ය. එහෙත්, අද වන විට මෙය එම ආකාරයෙන් ම සිදු වනවා ද යන්න විමසිය යුතු ව ඇත. විමතියට කරුණ නම් මෙකී විනාශකාරී ඉදිකිරීම් පාලනය කිරීමට කටයුතු කරනු වෙනුවට මෙරට වනසතුන් හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රතිපාදන සලසා ඇති අණ පනත් ද සංශෝධනය කරමින් මේ විනාශයට මඟපෑදීමට ඇතැම් පාලක කාරකාදීන් යෝජනා කිරිම ය. 2009 අංක 22 දරන (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥ පනත සංශෝධනය කර මෙරට වනජීවී රක්‍ෂිතවල ස්‌වාරක්‍ෂක කලාපවල සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු පසුගිය කාලයේ කටමැත දෙඩවීම මෙකී කාරණය මොනවට පහදා දෙන්නකි. සංචාරක කර්මාන්තයේ නාමයෙන් මෙවැනි අනර්ථකාමී ක්‍රියා සිදුවීම මෙරට ස්‌වාභාවික පරිසරය වැනසී යැමට ආකාර කිහිපයකින් ම බලපෑ හැකි බව අප ගේ වැටහීමයි. මෙමඟින් වන ජීවීන් ගේ ස්‌වාභාවික හැසිරීම් රටාවලට බාධ එල්ල වීම, වනජීවී රක්‍ෂිතවලට සිදු වන අනවසර ඇතුළු වීම් ඉහළ යැම, ඝන අපද්‍රව්‍ය සම්බන්ධ ගැටලු ඇති වීම, වනෝද්‍යාන ආශ්‍රිත ව දඩයම් හා අනවසර සත්ත්ව හා ශාක කොටස්‌ එකතු කිරීම් ඉහළ යැම, අලි-මිනිස්‌ ගැටුම ඉහළ යැම වැනි දැ නිතැතින් ම සිදු විය හැකි ය.

එසේ ම, සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වන සතුන්ට ආහාර ලබා දීම වැනි අමනෝඥ ක්‍රියාකාරකම් සිදු වීම මඟින් වන සතුන්ටත් මේ පරිසර පද්ධති ආශ්‍රිත ව ජීවත් වන මිනිසුන්ටත් බලපෑම් එල්ල වීම අක්‍රමවත් (පාරිසරික) සංචාරක කර්මාන්තයේ ගැටලු ලෙස හඳුනාගත හැකි ය. මීට ආසන්නතම උදාහරණයක්‌ ලෙස ඉකුත් කතරගම වන්දනා සමයේ දී යාල වනෝද්‍යානය හරහා කතරගමට ගමන් කළ පාද යාත්‍රිකයකු, කොටියකු ගේ ප්‍රහාරයකින් මරණයට පත් වීම දැක්‌විය හැකි ය. එහි අනෙක්‌ පසින් අසන්නට ලැබෙන්නේ යාල ජාතික උද්‍යානයේ කඳවුරු බිම් පාලනය කරන එක්‌තරා පෞද්ගලික සමාගමක්‌ විසින්a එම කඳවුරු බිමට සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා කොටියකුට මස්‌ ලබා දී ඇති බව ය. මෙකී පාද යාත්‍රාවේ යෙදුණු කාන්තාව කොටියකුට ගොදුරු ව ඇත්තේ ද එම ආසන්නයේ දී බව කියති.

එසේ ම, මේ ආකාරයෙන් සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහා නකල්ස්‌ සංරක්‍ෂිත වනාන්තරයට අයත් අයත් පිටවල පතන ප්‍රදේශය යොදා ගැනීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ද කටයුතු කිරීම කා හට වත් රහසක්‌ නො වන බව සිතමු. ඔවුන් ඒ සඳහා වනසා දැමීමට කටයුතු කළේ, 2007 IUCN රතු දත්ත ලේඛනය අනුව දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටින (Critically eudangered) ලංකාවට ආවේණික දුම්බර ගල්පර මැඩියා ගේ (Nannophrys mamorat) අතිශය සීමිත ක්‍ෂුද්‍ර වාසස්‌ථාන අතරින් එකක්‌ බව නො කියා ම බැරි ය. සංචාරකයන් විශාල වශයෙන් ස්‌වාභාවික පරිසර පද්ධති වෙත ආකර්ෂණය වීම නිසා එහි ජීවත් වන ඉතා දුර්ලභ වන ජීවීන් විනාශයට පත් වීම සම්බන්ධයෙන් ද දුම්බර ගල්පරමැඩියා අතීතයේ විශාල වශයෙන් හුවා දක්‌වන ලදී. එවැනි, පසුබිමක දී වැටත් නියරත් ගොයම් කන්නාක්‌ සේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ද ඉතා මුග්ධ ලෙස මේ ආකාරයෙන් දුම්බර ගල්පර මැඩියා ගේ ප්‍රකට වාසස්‌ථානයක්‌ වූ පිටවල පතන උන් ගෙන් උදුරා ගැනීම ඉතිරි කරන්නේ, ඉච්ඡා භංගත්වයක්‌ ම පමණකි.

නිසි ආකාර නියාමනයකින් තොර පාරිසරික සංචාරක කර්මාන්තය හරහා අප රටට උරුම ඉතා වැදගත් ජාන සම්පත් මුළු ලොවට ම හොරා විදේශීය මංකොල්ලකරුවන්ට නතු වීම ද නො සලකා හැරිය හැකි නො වේ. ශ්‍රී ලංකාවට පමණක්‌ ආවේණික ජීවීන් හා ජාන සම්පත් දේශීය ඒජන්තයන් ගේ ද ඇප උපකාර ඇති ව විදෙස්‌ රටවලට ගලා යන්නේ ද ඒවාට හොර රහසේ ම පේටන්ට්‌ බලපත්‍ර පවා ලැබෙන්නේ ද මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. එසේ ම, මේ ජාන සම්පත් පෙරළා අප ගේ ජෛවවිවිධත්වය විනාශ කිරීම සඳහා ද යොදා ගැනීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව සුළු පටු නො වන බව කිව මනා ය. 2009 වසරේ දී අවසන් වරට සංශෝධනය කෙරුණු වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥ පනත මඟින් ද මෙකී ජාන මංකොල්ලයට වැට බැඳීම සඳහා ශක්‌තිමත් පියවර ගෙන ඇති ද යන්න ගැටලුසහගත ය.

ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය ජීවියකු ඇසුරින් සිදු කළ ජෛව මංකොල්ලයක ප්‍රථම සාCෂ්‍ය සහිත නිදසුන වන්නේ, 1980.10.06 වැනි දින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පිරිනැමුණු US 4293546 අංක දරන පේටන්ට්‌ බලපත්‍රයයි. මෙයින් යාපනයෙන් සොයාගත් Streptosporangium fragile නම් දිලීරයෙන් ලබා ගන්නා ප්‍රතිජීවක කාණ්‌ඩය ආවරණය කර ඇත. ඉන් පසු ව මේ වන විට ශ්‍රී ලංකාව ජෛව මංකොල්ලයට ලක්‌ කර පේටන්ට්‌ බලපත්‍ර 300කට වැඩි ප්‍රමාණයක්‌ ලබාගෙන ඇති බව සොයාගෙන ඇත. මේ හැර තවත් නිෂ්කාශනය වන බලපත්‍ර 100කට වැඩි ගණනකට පේටන්ට්‌ බලපත්‍ර ලද හොත් ඒවා මඟින් ද තවදුරටත් සිදු වන්නේ, ශ්‍රී ලංකාවේ ජාන සම්පත් මංකොල්ලයට ලක්‌ වීමකි. මෙරටට පාරිසරික සංචාරක කර්මාන්තයේ නාමයෙන් පැමිණෙන බොහොමයක්‌ පිරිස්‌ පැමිණෙන්නේ අප ගේ ස්‌වාභාවික පරිසරය විඳගැනීමේ සද්භාවයෙන් යෑයි අප නො සිතිය යුතු ය. නිසි ආකාර නියාමනයකින් තොර ව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් තවදුරටත් සිදු වන්නේ ද අප ගේ ජාන සම්පත් කොල්ලකෑමට නොරටුන්ට ඉඩ ප්‍රස්‌ථා ව ලැබීම ය. අද වන විට අප රට තුළ ඇති තාක්‍ෂණික පසුගාමීත්වය තුළ අපට මෙකී ජාන සම්පත් විශ්ලේෂණය කර එහි නියම ඵල ප්‍රයෝජන ලබාගත නො හැකි වුව ද අනාගතයේ දිනයක තාක්‍ෂණය අප හිමි කර ගත්ත ද එදිනට අපට සිදු වන්නේ ද වර්තමානයේ දී මෙන් දත නියවාගෙන සිටීමට ය. ඒ වන විට අපේ වටිනා ජාන සම්පත් සියල්ලක ම හිමිකම නොරටුන් හිමි කරගෙන සිටීමට ඉඩ ඇති බැවිනි.

පාරිසරික සංචාරක කර්මාන්තයේ හරයන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ, එයින් එම පරිසර පද්ධති අවට වෙසෙන ග්‍රාමීය ප්‍රජාවට ද ආර්ථික වාසි සැලසිය යුතු බව ය. එහෙත්, අද වන විට මෙරට තුළ සිදු කෙරෙන සංචාරක ව්‍යාපෘති බෙහොමයකින් එකී ප්‍රධාන පරමාර්ථය ඉටු වනවා ද යන්න ගැටලුසහගත ය. සැබෑ ලෙස ම මෙරට ස්‌වාභාවික පරිසර පද්ධති ආරක්‍ෂා කර ගැනීමට ඒ අවට ප්‍රජාව ගෙන් ලැබෙන දායකත්වය ඉමහත් ය. එබැවින් එහි ආර්ථික වාසි එකී ග්‍රාමිය ප්‍රජාවට ද හිමි විය යුතු ය. එහෙත්, වර්තමාන සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ සපුරා ම මධ්‍යගත වීම නිසා ග්‍රාමීය ප්‍රජාව පරිසර පද්ධති කෙරෙහි ද්වේශසහගත වීම ද ඇතැම් අවස්‌ථාවල දැකගත හැකි ය.

එසේ ම, විදේශීය සංචාරකයන් මත ම කේන්ද්‍රගත වූ සංචාරක කර්මාන්තය තුළින් දේශීය සංචාරකයන්ට මෙරට ස්‌වාභාවික පරිසර පද්ධතීන් අත්විඳීමට ඇති ඉඩ ප්‍රස්‌ථා අහිමි වීම ගැටලු ඇති කරන්නකි. විශේෂයෙන් සංචාරක කර්මාන්තය මත යෑපෙන ඇතැම් තැරැව්කරුවන් වැඩි ආදායමක්‌ ලබාගැනීම සඳහා විදේශීය සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබා දීම නිසා දේශීය සංචාරකයන් අසාධාරණයට ලක්‌ වූ අවස්‌ථාවන් ද හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකාවේ වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු වනජීවී රක්‍ෂිත වෙත පැමිණෙන නරඹන්නන් ප්‍රමාණය පාලනය කිරීම සඳහා ද අප සතු ව නිශ්චිත වැඩපිළිවෙළක්‌ නොමැති බව කිවමනා ය. විශේෂයෙන් මෙරට ජාතික උද්‍යාන සියල්ලක ම දක්‌නට ලැබෙන එම තත්ත්වය වන ජීවීන් ගේ පැවැත්මට ප්‍රබල තර්ජනයකි. අප ගේ වනජීවී සම්පත් ප්‍රවර්ධනය කර එමඟින් මුදල් උපයා ගැනීමේ වරදක්‌ නැතත් මෙකී ජාතික උද්‍යාන වනාහී වන සතුනට උරුම නිජබිම් විනා මිනිසුන් ගේ අයිතියක්‌ නො වන බව අප වටහා ගත යුතු ය. එබැවින් මේ වනජීවී රක්‍ෂිතවලින් මුදල් උපයා ගැනීම සිදු කළ යුත්තේ, වනජීවීන් ගේ නිදහස්‌ හා සාමකාමී දිවිපෙවෙතට බාධා එල්ල නො වන පරිදි ය. එහෙත්, අද වන විට වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවා සංරක්‍ෂණයේ නාමයෙන් කොන්ක්‍රීට්‌ වනාන්තර (සංචාරක මධ්‍යස්‌ථාන, බංගලා) වනජීවී රක්‍ෂිතවල ඉදි කරනු විනා සැබෑ සංරක්‍ෂණයට යොදන දායකත්වය විරල ය. මෙවැනි වනජීවී රක්‍ෂිත වෙත ඇතුළු කරන නරඹන්නන් හා රථ වාහන ප්‍රමාණය එහි වපසරිය හා වසරේ එක්‌ එක්‌ කාලය අනුව නියාමනය කළ යුතු ව ඇතත්, මෙරට එවැන්නක්‌ සිදු නො වේ. ඒ වෙනුවට සිදු කරන්නේ, ආර්ථික වාසි පමණක්‌ සලකා කටයුතු කිරීම බවට කදිම නිදසුනක්‌ ලෙස යාල ජාතික උද්‍යානය වියළි කාලයේ දී පවා සංචාරකයන්ට අඛණ්‌ඩ ව විවෘත කර තැබීම දැක්‌විය හැකි ය. සාමාන්‍යයෙන් වියළි සෘතුවේ දී මසක පමණ කාලයක්‌ එකි වනෝද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙන්නේ වන ජීවීන්ට යම් අස්‌වැසිල්ලක්‌ ලබා දීම ද අරමුණු කරගෙන නමුත්, පසුගිය කාලයේ එවැන්නක්‌ සිදු නො වී ය. එසේ ම, ඉතා අමනෝඥ ආකාරයෙන් මින්නේරි ජාතික උද්‍යානය ද රාත්‍රී සංචාර (Night Safari) සඳහා විවෘත කිරිමට කටයුතු කිරීම ම මෙවැනි අගතිගාමී ක්‍රියාවකි. එහි අවාසනාවන්ත ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය කාලයේ එම කලාපයේ දුම්රිය අනතුරු නිසා මිය ගිය වන අලින් ප්‍රමාණය ද ඉහළ ගිය බව තතු දන්නෝ දනිති. ඊට හේතුව රාත්‍රී සංචාර සඳහා යොදාගන්නා අධිබල ආලෝක ධාරාවලට හුරු වූ වන අලි ඇතුන් දුම්රියවල ආලෝක ධාරාවන් ද නො සලකා හැරීම බව සිතිය හැකි ය. මේ බව ප්‍රමාද වී හෝ වටහාගත් බලධාරීන් අද වන විට මෙය නවතා දැමීමට කටයුතු කිරීම සතුටට කරුණකි. එසේ ම, ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව සලකා වැඩි ආදායමක්‌ ලැබෙන ජාතික උද්‍යානවලට වැඩි පහසුකම් සපයා දීම ද අඩු ආදායම් ලබන ජාතික උද්‍යාන (උදා(-මාදුරුඔය) නො සලකා හැරීමට ද රේ‚ය දෙපාර්තමේන්තුව නිල නො ලත් ආකාරයෙන් කටයුතු කළ බව අපි දනිමු.

මෙකී සියලු කාරණා සලකා බැලීමෙන් පෙනී යන්නේ, පාරිසරික සංචාරක කර්මාන්තයේ නාමයෙන් අපේ ජෛව උරුම වළපල්ලට යැමට පටන්ගෙන තිබීම නො වේ දැයි විමසා බැලිය යුතු ය. එබැවින් ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලද අප ගේ මාතෘ භූමිය නුදුරේ දී ම ඉන්දු සයුරේ කඳුළු බිංදුව බවට පත් වීම වැළැක්‌වීම සඳහා අප වඩාත් විද්‍යාත්මක, දීර්ඝකාලීන හා තිරසාර වැඩපිළිවෙළකට අවතීරණය විය යුතු බව ඉතා අවධාරණයෙන් ලියා තැබිය යුතු වේ.


අද සතියේ විමසුම
සුපුන් ළහිරු ප්‍රකාශ්
ඡායාරූප තාරක කුසුමින්ද

http://www.vidusara.com/2012/04/04/feature1.html

No comments:

Post a Comment