Saturday, April 7, 2012

පානදුර ගඟේ වැලි ජාවාරමක්

* විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි පළාත් ඇමති ඉල්ලයි
* ගං ඉවුර කඩා වැටී දේපළ හානි


පානදුර සමූහ කපිල සෝමරත්න

පානදුර ගඟේ පල්ලිමුල්ල සහ ගොරකාන අතර අනවසරයෙන් මහා පරිමාණයේ වැලි ගොඩදැමීමේ ව්‍යාපාරයක් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න යැයි බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමැති ජගත් අංගගේ මහතා පානදුර උතුරු පොලිසියෙන් ඉල්ලා සිටියේය.

ඇමැතිවරයා එසේ ඉල්ලා සිටියේ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි. ජාවාරම්කරුවෝ ඉතා සංවිධානාත්මකව වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරය ජයටම පවත්වාගෙන යති. මේ නිසා ගඟ හෑරී මුහුදු ජලය ගඟ දියට මිශ්‍ර වේ. ගංඉවුර කඩා වැටීමෙන් පෞද්ගලික දේපළ වලට පවා හානි සිදු වේ.

පානදුර ප්‍රාදේශීය ලේකම් කේ. ජී. විජේසිරි මහතා සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීන් සහ පානදුර නගර සභාවේ සහ පානදුර ප්‍රාදේශීය සභාවේ නියෝජිතවරුද මේ රැස්වීමේදී පානදුර ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. පානදුර නගරයේ ගාලු පාරේ සැතපුම් කාලක ප්‍රමාණයක දුර රාත්‍රි කාලයට අඳුරේ පවතී. අබලන් වී තිබෙන විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීම ක්‍රමානුකූලව සිදු කර නොමැති බවද කමිටු රැස්වීමේදී හෙළි විය.

පානදුර නගරයේ මහාමාර්ග කිහිපයක් හා නගර ශාලාව ද අලුත්වැඩියා කෙරේ. නගර ශාලා භූමියේ අලුතින් වැසිකිළි පද්ධතියක්ද නගර සභාව මගින් ඉදි කර ගෙන යයි. පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ගුණවර්ධන විද්‍යාලය සාන්ත අන්තෝනි විදුහලට සහ පානදුර පින්වත්ත විදුහල අගමැති බාලිකා විදුහලට සහ රාජකීය විදුහලට ඒකාබද්ධ කරමින් ප්‍රාථමික පාසලක් බවට පත් කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී රණවිරු විකුම් ගුණසේකර මහතා සඳහන් කළේය.

පානදුර ජෙරමියස් විදුහලද ප්‍රාථමික පාසලක් කිරීමට කටයුතු යොදා ඇත. එහි ඉගෙනීම ලබන ඉහළ පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පානදුර සාන්ත ජෝන් විදුහලට ඇතුළත් කළ හැකි බවද එහිදී සඳහන් කෙරිණි.පානදුර පෞද්ගලික බස් පොළේ ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ලේ කඩ කාමර බොහෝමයක් කුලියට දීමට නොහැකි තත්වයට පත්ව ඇත. මේ නිසා නාගරික සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවී ඇත.

මේ පිළිබඳව කරුණු සොයා බලා මෙම ගොඩනැගිල්ලේ පොලිස් මුරපොළක් පිහිටුවිය යුතු යැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවයේ නිලධාරියෙක් කීය. පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නැංවූ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බව පානදුර නව ප්‍රාදේශීය ලේකම් කේ. ජේ. විජේසිරි මහතා පැවසීය.


http://www.dinamina.lk/2012/04/07/_art.asp?fn=r1204076

No comments:

Post a Comment