Thursday, September 8, 2011

ප්‍රමිතියෙන් අඩු වෙළෙඳනාමවලින් එන ඖෂධ මානව ප්‍රජාවටම අභියෝගයක්‌

- ඇමැති මෛත්‍රිපාල සිරිසේන

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

වෙළෙඳපොළ තුළ ප්‍රමිතියෙන් අඩු වෙළෙඳ නාමවලින් එන ඖෂධ අද සමාජයක්‌ විදිහට අප රටට වගේම මුළු මහත් මානව ප්‍රජාවටම බරපතළ අභියෝගයක්‌ වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා එසේ කීය.

කොළඹ සිලෝන් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැති මෙම වාර්ෂික සමුළුව තවදුරටත් ඇමැතු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

"නිදහස්‌ සෞඛ්‍ය සේවාව ශක්‌තිමත් කිරීමේදී මේ රටේ සිටින දෙකෝටියකට ආසන්න ජනතාව තුළ අති බහුතරයක්‌ සිටින්නේ විවිධ සමාජ ගැටලු සමගයි. ජනතාවගේ ආර්ථික ශක්‌තිය වර්ධනය කරනවා මෙන්ම ඔවුන්ගේ සෙසු ගැටලු විසඳීමත් ප්‍රමුඛ කාර්යයක්‌. ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට මෙම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් වෙනස්‌කම් පරිවර්තනයන් රැසක්‌ සිදුකිරීම සඳහා නව තීන්දු තීරණ ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. එම නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනාගේ සහයෝගය මට අවශ්‍ය වෙනවා.

අපේ රටේ දැනට ලියාපදිංචි ඖෂධ 40,000 ක්‌ තිබෙනවා. එක විද්‍යාත්මක නමකින් හැඳින්විය යුතු ඖෂධය වෙළෙඳ නම් ගණනාවකින් සමහර විට 15, 20, 25, 30 වශයෙන් වෙළෙඳ නම් වලින් ලියාපදිංචිවීම් සිද්ධ වෙලා තිබෙනවා. එතකොට 40,000 ක්‌ ලියාපදිංචිය තුළ වෙළෙඳපොළ හා ආයතනවල එම ප්‍රමාණය සංසරණය වෙනවා. භෞතික වශයෙන් නැතහොත් විද්‍යාත්මක නමින් ගතහොත් තිබෙන්නේ ඖෂධ වර්ග 10,000 ක පමණ ප්‍රමාණයක්‌. ඒවගේම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු අපේ විශේෂඥ මණ්‌ඩල වාර්තා කරනවා සාමාන්‍යයෙන් මිනිසෙකුට අවශ්‍ය සියලු කරුණු සඳහා සියලු රෝග, අසනීප, හදිසි අනතුරු ඒ සෑම දෙයක්‌ම සඳහා අවශ්‍ය වන්නේ මේ විද්‍යාත්මක නම් වලින් හැඳින්වෙන ඖෂධවලින් 3000 කටත් අඩු ප්‍රමාණයක්‌. එහෙම නම් ඖෂධ වර්ග 3000 ක්‌ තිබිය යුතු තැන 40,000 කට පමණ වැඩි ප්‍රමාණයක්‌ ලියාපදිංචි වී තිබෙනවා.

වෙළෙඳ පොළ තුළ ප්‍රමිතියෙන් අඩු වෙළෙඳ නාමවලින් එන ඖෂධ අද සමාජයක්‌ විදිහට අප රටට වගේම මුළු මහත් මානව ප්‍රජාවට බරපතළ අභියෝගයක්‌ වී තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ තත්ත්වය වෙනස්‌ කිරීමට මට සහයෝගය ලබාදෙයි කියලා.

http://www.divaina.com/2011/09/07/news20.html

No comments:

Post a Comment