Friday, September 9, 2011

පකිස්‌තාන් සිමෙන්ති හොර පාරෙන් වෙළෙඳපොළට ගිය හැටි ගැන රේගු පරීක්‍ෂණ

ප්‍රභාත් විතාන

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය ලැබෙන තෙක්‌ ජාතික සමුපකාර මණ්‌ඩලයේ ගබඩාවල ගබඩාකර තැබීමට පමණක්‌ අවසර දුන් ජාතික සමුපකාර මණ්‌ඩලය පකිස්‌තානයෙන් ගෙන්වන ලද සිමෙන්ති තොගය රේගු ආඥ පනත උල්ලංඝණය කර වෙළෙඳපොළට නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රේගුව පෙරේදා (07 වැනිදා) පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

රේගුව යටතේ පැවැති සිමෙන්ති කන්ටේනර් 25 න් කන්ටේනර් 3ක්‌ රේගුව භාරයේ තබාගෙන ඉතිරි කන්ටේනර් 22 ක්‌ ජාතික සමුපකාර මණ්‌ඩලයේ ගබඩාවල ගබඩා කර තැබීමට පමණක්‌ ප්‍රමිති ආයතනයේ අනුමැතිය මත ශ්‍රී ලංකා රේගුව විසින් අවසර ලබාදී තිබිණි.

එසේ තිබියදී එම කන්ටේනර්වල තිබූ සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කර ඇති නිසා මෙසේ පරීක්‍ෂණ පවත්වන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ භාණ්‌ඩ සමීක්‍ෂණ අධ්‍යක්‍ෂ එස්‌. ඩී. එස්‌. ගුණතුංග මහතා ඊයේ (08 වැනිදා) දිවයිනට පැවසීය.

රේගු නිලධාරීන් පරීක්‍ෂා කිරීමට ප්‍රථම සීල් කඩා කන්ටේනර් විවෘත කර ඒවායේ තිබූ සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීමත් ප්‍රමිති සහතිකය නොමැතිව මෙම සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීමත් රේගු ආඥාපනත සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කිරීමක්‌ බවත් කී ගුණතුංග මහතා ඒ යටතේ මෙම පරීක්‍ෂණ පවත්වන බවත් කියා සිටියේය.

මෙම සිමෙන්ති කන්ටේනර්වලින් රේගුව භාරයේ පැවති සිමෙන්ති කන්ටේනර් 3 ද ඉකුත් අඟහරුවාදා (07 වැනිදා) ප්‍රමිති සහතිකය ලැබෙන තෙක්‌, ජාතික සමුපකාර මණ්‌ඩලයේ ගබඩාවලට යවන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය රේගුවට දැනුම් දුන් බවද ගුණතුංග මහතා කියා සිටියේය.

මෙම පරීක්‍ෂණ වාර්තා ලැබීමෙන් පසු ජාතික සමුපකාර මණ්‌ඩලයට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2011/09/09/news22.html

No comments:

Post a Comment