Thursday, March 8, 2012

සමාගම් කිරිපිටි ආනයනය සීමා කරයි

උත්සව සමයේ කිරිපිටි හිඟයක්‌!

ප්‍රභාත් විතාන

කිරිපිටි ආනයනය ප්‍රධාන සමාගම් විසින් සීමා කිරීම නිසා ඉදිරියේදී රට පුරා දැවැන්ත කිරිපිටි හිඟයක්‌ ඇතිවීමේ අවදානමක්‌ මතුවී ඇත. කිරිපිටි මිල ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරියෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණු නිසා කිරිපිටි ආනයනය සියයට 50 කින් අඩු කිරීමට තීරණය කළ බව කිරිපිටි සමාගම් පවසයි.

ඒ අනුව දැනට තිබෙන කිරිපිටි තොග මෙම මාසය අවසානයේදී නිම වන බවත් උත්සව සමය යෙදෙන ලබන අප්‍රේල් මාසය වන විට මෙරට වෙළෙඳ පොළේ කිරිපිටි හිඟයක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකි බවද කිරිපිටි සමාගම් කියා සිටී.

රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා ඩොලරයේ අගය ඉහළ යැමෙන් මේ වන විට කිරිපිටි ආනයන වියදම් බෙහෙවින් ඉහළ යැමත් මෙරට ඉන්ධන මිල ඉහළ යැම නිසා ප්‍රවාහන වියදම් අධිකවීමෙන් සිදුවන අධික පාඩුවත් අවම කර ගැනීමට කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුවී තිබෙන බව කිරිපිටි සමාගමක ප්‍රකාශකයෙක්‌ දිවයිනට පැවසීය.

පසුගිය මාසයේ සිට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‌ටුවකින් කිරිපිටි සමාගම් රුපියල් 15 ක පමණ පාඩුවක්‌ ලබන බවත් මසකට රු. මිලියන 220 ක පාඩුවක්‌ කිරිපිටි සමාගම්වලට සිදුවන බවත් එම නිලධාරියා කියා සිටියේය.

මේ හේතුවෙන් ග්‍රෑම් 400 කිරිපිටි පැකකැට්‌ටුවක මිල රු. 15 කින් ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරියෙන් කළ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක්‌ මෙතෙක්‌ ලැබී නොමැති බවත් කිරිපිටි සමාගම් ආනයනය සීමා කිරීමෙන් උත්සව සමයේ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකි බවත් එම නිලධාරියා කියා සිටියේය.

මේ හේතුවෙන් කිරිපිටි කර්මාන්තයේ නියෑළී සිටින දේශීය සමාගම් මේ වන විට දැඩි අර්බුදයකට ලක්‌වී තිබෙන බවත් කී එම නිලධාරියා මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් කර තිබෙන ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වනු ඇතැයි සමාගම් බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.


http://www.divaina.com/2012/03/08/news08.html

No comments:

Post a Comment