Friday, May 23, 2014

Green Movement Petition on Land Allocation

අවතැන් මුස්ලිම් ජනතාවගේ පදිංචියට ඉඩම් අක්කර 2500ක් වෙන්කිරීමට එරෙහි පෙත්සම

වගඋත්තරකරුවන් ජූනි 25දා අධිකරණය හමුවට කැඳවයි

අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 2500කට අධික ප්‍රමාණයක් ලබා දීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට ලබන ජූනි මස 25වැනි දා අධිකරණයෙහි පෙනි සිටින ලෙස නියෝග කරමින්අභියාචනාධිකරණය පෙරේදා (21) නොතිසි නිකුත් කෙළේය.
එම පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු පී.ඩබ්ලිව්.ඩී.සී. ජයතිලක මහතා මේ බව ප්‍රකාශ කෙළේය. එලෙස එම ඉඩම් ලබා දුනහොත් එය විල්පත්තු අභය භූමිය සහ පරිවාර වනාන්තරවල ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑමක් එල්ල කරනු ඇතැයි පෙත්සමෙහි දැක්වේ.
එලෙස ඉඩම් නිදහස් කිරීමට අදාළව වන පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ඉකුත් පෙබරවාරි මස 14 දින නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පරිසර හා පුනර්ජනනීය අමාත්‍යාංශ ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක, වන සංරක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එකොළොස් දෙනකු පෙත්සම මගින් වගඋත්තර කරුවන් කොට සිටිති. පෙත්සම්කාර සංවිධානය පරිසර රැක ගැනීම සඳහා කටයුතු කරන බව පෙත්සමෙහි දැක්වේ.
අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ලබා ගැනීමේ කටයුතු සිදු වන බව පෙත්සමෙහි දැක්වේ.
ඒ අනුව මන්නාරම , මුලතිව්, වව්නියාව යන ප්‍රදේශ වල ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 2388ක් නිදහස් කිරීමට අදාළ ලිපියක් පරිසර හා පුනර්ජනනීය අමාත්‍යාංශ ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක, මහතා මන්නාරම දිසා ලේකම්වරයා වෙත ඉකුත් පෙබරවාරි මස 14 දින යවා තිබේ .
එලෙස නිදහස් කිරීම‍ට අපේක්ෂිත ඉඩම් ප්‍රමාණය අක්කර 2500ක් පමණ වන බව ද පෙත්සමෙහි දැක්වේ. එම ලිපියේ සඳහන් කර ඇති ඉඩම් වන ජීවී ආඥා පනත යටතේ කැළෑ ලෙස අර්ත ගන්වා ඇති බැවින් එම ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නැතැයි පෙත්සමෙහි දැක්වේ.
එසේම එය අත්තනොමතික ලෙස වනාන්තර විනාශ කිරීමට අනුබල දීමක් වන බවද පෙත්සමෙහි දැක්වේ. එසේම එම ඉඩම්වල පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන සහ නටබුන් ඇති බැවින් ඒවා විනාශ විමට ද මෙලෙස ඉඩම් නිදහස් කිරීම හේතුවක් වන බව පෙත්සම්කාර ආයතනය සඳහන් කර ඇත.
නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.
http://www.dinamina.lk/2014/05/23/_art.asp?fn=n14052320

No comments:

Post a Comment