Thursday, September 8, 2011

වරායේ හිරවු සමූප සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය


විජයානි එදිරිසිංහ සහ උපාලි කරුණාරත්න

ජාතික සමූපකාර මණ්ඩලය මගින් ආනයනය කර ප්‍රමිති සහතිකය නොමැතිවීම හේතුවෙන් වරායේ රඳවාගෙන තිබූ සිමෙන්ති තොගයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රමිති සහතිකය ලබාදීමට එකඟ වූ බව ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති බන්දු රණවක මහතා පැවසීය.

ඊයේ (7) පස්වරුවේ එම සහතිකය ලබා දීමට නියමිතව තිබුණත් එක් නිලධාරියෙකුගේ අත්සන ලබා ගැනීමට අපහසු වූ නිසා අද (08) පෙරවරුවේ එම සහතිකය ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව වරායෙන් එම සිමෙන්ති තොග නිදහස් කරගැනීම සඳහා ප්‍රමිති ආයතනය ඊයේ (07) අවසර ලබා දී තිබුණි.

එම සිමෙන්ති තොග ජාතික සමූපකාර මණ්ඩලයේ ගබඩා වෙත ගෙන යාමට ඊයේ (07) කටයුතු යෙදිණි.

පසුගිය ජූනි විසිවෙනිදා ලකී සිමෙන්ති සමාගමට ප්‍රමිති සහතිකය අවලංගු කිරීමත් සමඟ සමූපකාර මණ්ඩලයේ මෙම සිමෙන්ති තොගයට ද ප්‍රමිති සහතිකය ලබා නොදී තිබිණි. මාස දෙකකට වැඩි කාලයක් වරායේ සිර වී තිබූ එම සිමෙන්ති තොගයට මෙසේ ප්‍රමිති ආයතනය සහතිකය ලබා දෙන්නේ එම සිමෙන්තිවල ප්‍රමිතිය දුර්වල එකක් නොවන නිසාය.

විශාල සිමෙන්ති හිඟයක් පැවැති කාලයේ කොට්ටය රුපියල් හයසිය තිස්පහ බැගින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ගෙන්වූ මෙම සිමෙන්ති තොගය මෙසේ සිරකර තිබුණේ ප්‍රමිති සහතිකය නොලැබුණු නිසාය.

අද (08) ප්‍රමිති සහතිකය ලැබීමෙන් පසු එම සිමෙන්ති රුපියල් හයසිය තිස්පහටම වෙළෙඳ පොළට නිකුත් කිරීම ජාතික සමූපකාර මණ්ඩලය බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව ප්‍රමිති ආයතනයේ සභාපති කාංචන රත්වත්තේ මහතා ප්‍රකාශ කර සිටියේ සිමෙන්ති තොගයට ප්‍රමිති සහතිකය ලබාදීම සම්බන්ධයෙන් අද (08) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මාධ්‍යයට කරුණු හෙළිකරන බවයි.
http://www.dinamina.lk/2011/09/08/_art.asp?fn=n11090811

No comments:

Post a Comment