Thursday, January 12, 2012

තේ දළු ප්‍රවාහනයේදීත් ප්ලාස්‌ටික්‌ කූඩ අනිවාර්යයි

වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති

ලසිත දුමින්ද සහ අකිත පෙරේරා

තේ දළු ප්‍රවාහනය කිරීමේදීත් මින් ඉදිරියට ප්ලාස්‌ටික්‌ කූඩ අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත.

මේ පිළිබඳ මහා පරිමාණ හා කුඩා තේ කර්මාන්ත ශාලා හිමියන් මෙන්ම අදාළ අංශ දැනුවත් කර තිබෙන බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

තේ දළු ප්‍රවාහනයේදී ප්ලාස්‌ටික්‌ කූඩ සහ තේ මණ්‌ඩලය මගින් අනුමත ආදේශක බහාලුම් යොදා ගැනීම අනිවාර්ය කිරීමේ පනත් කෙටුම්පත රජය නීතියක්‌ වශයෙන් සම්මත කරගෙන තිබෙන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව තේ දළු ප්‍රවාහනයේදී නියමිත බහාලුම්වල පමණක්‌ රැගෙන යා යුතු බවද කී ඇමැතිවරයා එසේ නොකරන අයවලුන්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බව ද කීවේය.

ලංකා තේ නාමය ලෝකයේ ප්‍රචලිත දේශීය නිෂ්පාදනයක්‌ බවද, අලුත් තේ නිෂ්පාදිත රටවල් සමඟ තරග කිරීමට නම් අප රටේ නිෂ්පාදිත තේ දළුවල ගුණාත්මකබව වඩාත් තහවුරු කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වනවිට තේ දළු ප්‍රවාහනයේදී නිෂ්පාදිත තේ දළුවලින් සියයට 30 ක්‌ අපතේ යන බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙමඟින් තේ දලුවල ප්‍රමිතිය සහ ගොවියා රැක ගැනීම රජයේ ප්‍රධාන අරමුණ වන බව ද කීවේය.

මෙම නව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව ද, ඒ සඳහා මාස දෙකක සහන කාලයක්‌ ලබා දී තිබෙන බව ද ඇමැති අර්ල් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2012/01/12/news20.html

No comments:

Post a Comment