Thursday, January 19, 2012

මුහුදු මගින් තැපැල් මලු ප්‍රවාහනයේ ටෙන්ඩර් දීමේදී පිළිගත් නීති බිඳලා

එක්‌සත් ජාතික තැපැල් සේවක සංගමය කියයි

ප්‍රියදර්ශන ලියනගේ

ශ්‍රී ලංකාවේ සිට ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් 15 කට මුහුදු තැපෑල හරහා නැව් මගින් තැපැල් මලු ප්‍රවාහනය කිරීම සඳහා වූ ටෙන්ඩරය පිරිනැමීමේදී තැපැල් දෙපාර්තමේන්තුව පිළිගත් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කර ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂයට අනුබද්ධිත එක්‌සත් ජාතික තැපැල් සේවක සංගමයේ ලේකම් එච්. ඒ. ආර්. නිහාල් මහතා පවසයි.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය. මුහුදු තැපෑල හරහා තැපැල් මලු ප්‍රවාහනය කිරීමෙන් තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව විශාල ආදායමක්‌ උපයනවා.

ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් මලු නැව් මගින් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන නැව් සමාගම්වලට තැපැල් දෙපාර්තමේන්තුව වසරකට අවම වශයෙන් රුපියල් ලක්‌ෂ 18 කට වැඩි මුදලක්‌ ගෙවනවා. වසර 13 ක පමණ කාලයක්‌ තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් මලු නැව් මගින් ප්‍රවාහනය කළේ කලම්බු බේක්‌ බලක්‌ කියන සමාගම විසිනුයි. 2011 වසරේදී මෙම ටෙන්ඩරය දෙකට බෙදලා 50% ක්‌ කලම්බු බේක්‌ බලක්‌ සමාගමටත් තවත් සමාගමකටත් ලබාදී තිබුණා.

තැපැල් දෙපාර්තමේන්තුව ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් හිතුවක්‌කාරී ලෙස කටයුතු කර තිබෙන්නේ 2012 වර්ෂය සඳහා ටෙන්ඩරය ලබාදීමේදීයි. පසුගිය කාලය පුරාම මුහුදු තැපෑල සතු තැපැල් මලු තැපැල් දෙපාර්තමේන්තුවේ සිට වරාය දක්‌වා ප්‍රවාහනය කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින්. මෙවර එයත් නතර කරලා ටෙන්ඩරය පිරිනැමූ සමාගමට තැපෑලේ සිටම තැපැල් මලු ප්‍රවාහනය කිරීමේ අයිතිය ලබාදීලා තිබෙනවා. මෙමගින් තැපැල් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය විනාශ වීමට ඉඩ තිබෙනවා. නැවත ටෙන්ඩර් කැඳවලා විධිමත් පරිදි නැව් මගින් තැපැල් මලු ප්‍රවාහනය කිරීමේ අයිතිය සමාගමකට ලබාදිය යුතුයි


http://www.divaina.com/2012/01/19/news24.html

No comments:

Post a Comment