Saturday, January 7, 2012

තැලීම් පොඩිවීම් සහිත පලතුරු එළවළු ජනතාව ප්‍රතික්‍ෂේප කළ හොත් ඇසුරුම් කූඩ භාවිතය ප්‍රචලිත කළ හැකියි

අකිත පෙරේරා

ප්‍රවාහනයේදී සිදුවන තැලීම් සහ පොඩිවීම් සහිත තත්ත්වයෙන් බාල අපිරිසිදු එළවළු, පලතුරු වර්ග මිලදී ගැනීම පාරිභෝගික ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළහොත් මෙරට තුළ ඇසුරුම් කූඩ භාවිතය කඩිනමින් ප්‍රචලිත කළ හැකි බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ කෘෂිකර්ම වනජීවි හා ගොවි ජන සේවා, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (5 වැනිදා) ආරම්භ කරන ලද තෙදින වැඩමුළුවේදී එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී සිදුවන පසු අස්‌වනු නාස්‌තිය වළක්‌වා ගැනීම සඳහා ඇසුරුම් කූඩ භාවිතයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩමුළුවේදීය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කෘෂිකර්ම ඇමැතිවරයා මෙසේද කීය.

අපේ රටේ සුපර් මාර්කට්‌ සංකල්පය අද වඩාත් ප්‍රචලිතවී තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ මේ සුපර්මාර්කට්‌ වල තිබෙන්නේ තත්ත්වයෙන් උසස්‌ පිරිසිදු භාණ්‌ඩ කියන මතය ජනතාව අතර තියෙනවා. දැන් මේ රටේ ජනතාව අපේක්‍ෂා කරන්නේ හොඳ පිරිසිදු එළවළු පලතුරු ආදිය පරිභෝජනය කරන්නයි.

මට මතකයි අපේ පුංචි කාලයේදී අපේ ගම්මානවලට ස්‌ථිර වැසිකිළි පහසුකම් භාවිතය පුරුදු කරන්න එවකට රජය ක්‍රියාකරපු ආකාරය. එදා ඒ සඳහා ආම්පන්නත් ලබාදී රජයෙන් රුපියල් 12.50 ක මුදලක්‌ ලබා දුන්නා වැසිකිළියක්‌ ඉදිකරගන්න.

එදා ගම්වල මිනිස්‌සුන්ව ඉතාම අමාරුවෙන් තමයි වැසිකිළි පහසුකම්වලට ජනතාව පෙළඹෙව්වේ. ඒත් අද ඒ ගම්වලට ගිහිල්ලා බැලුවාම ඒ අය ඉතාම පිරිසිදුවට තමන්ගේ වැසිකිළි පවත්වාගෙන යනවා.

ඒ නිසා මේ විදියටම අපි එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා මේ කූඩ භාවිතයට ක්‍රම ක්‍රමයෙන් පුරුදු විය යුතුයි. මොකද මේ පසු අස්‌වනු හානිය නිසා 33% ක්‌ ජාතික ධනය විනාශ වෙනවා. මේවාට පොහොර දාලා, මුදල් යොදවලා, ශ්‍රමය සහ කාලයත් වැය වෙනවා. ඒ අතින් බැලුවහම මේක ඇත්තටම ජාතික අපරාධයක්‌.

අපේ රටේ තමයි මෙහෙම අපිරිසිදු එළවලු, පළතුරු විකුණන්න අවසර තිබෙන්නේ ඒත් විදෙස්‌ රටවල නම් සෞඛ්‍යයට අහිතකර එලවළු විකුණන්න තහනම්. ඉතින් අපිත් යෝජනා කරන්නේ අපේ රටේත් මෙහෙම කරමු කියලා.

මෙහෙම කටයුතු ක්‍රියාත්මක කිරීමක්‌ සිදුකරන්නේ මේ රටේ ජනතාව නීරෝගී විය යුතු නිසායි. ජාතියේ යහපත තකායි මෙය කරන්නේ මේක අපරාධයක්‌ නොවෙයි.

ජනාධිපතිතුමාත් නිතරම කියන්නේ අපනයන වෙළෙ¹ම ශක්‌තිමත් කළ යුතුයි කියලා. මාලදිවයිනට ගන්නේ සම්පූර්ණයෙන්ම අපේ එළවළු, මැද පෙරදිග රටවල්වලටත් අපේ එළවළු, පලතුරු සපයනවා. ඒ රටවල්වලට යවන කොට අපි ඒවා ඉතාම හොඳ තත්ත්වයෙන් යවනවා.

දැන් තක්‌කාලි ලෑලි පෙට්‌ටිවල ඇසිරිය යුතුයි කියලා කවුරුවත් නියම කළේ නැහැනේ. ඒත් තක්‌කාලි ඉක්‌මණින් විනාශ වෙන නිසා එහෙම කරනවා. ඒනිසා තැලෙන පොඩිවෙන එළවළු කූඩවල දාලා ප්‍රවාහනය කරන්න අපි පුරුදු වෙමු. ඒක අපේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කළයුතු දෙයක්‌. පිරිසිදු, ආරක්‍ෂිත සුදුසු ආහාර ලබාදීම මගින් රටේ අනාගත ජනතාවටයි සෙත සැලසෙන්නේ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා,

මීට වසරකට පෙර කෘෂිකර්ම ඇමැතිතුමාත් මමත් එකතුවෙලා ඒකාබද්ධව කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළා. එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමට අදාළව. ඒත් මේක ක්‍රියාත්මක කරන්න අවුරුද්දකුත් පසුව මාස හයක කාලයකුත් ලබා දුන්නා. ඒ ඇසුරුම් කූඩ මදි කියපු නිසා. අද කූඩ ලක්‍ෂ 10 ක්‌ නිෂ්පාදනය කර තිබෙනවා.

මේකට සමහරු දැඩි විරෝධය පළ කළා. මේකට ජොනීගේ කූඩ කිව්වා. එහෙම කිව්වට මේක රජයේ තීරණයක්‌. මේ නීතිය ක්‍රියාත්මක කරනකොට තමයි වැඩියෙන්ම විරුද්ධ වුණේ. ඒත් අපි ගොවීන්ව වැටලුවේ නැහැ. පස්‌සේ අපි මේ නීතිය ක්‍රියාත්මක කරන්න ජනවාරි 15 දක්‌වා කල්දී තියෙනවා.

මේක රටට හොඳ තීරණයක්‌. රජය ගන්න තීරණවලට පෙනී සිටීම ඇමැතිවරු කළ යුතු දෙයක්‌. අද ආර්ථික මධ්‍යස්‌ථානවල, පොළවල කොපමණ නරක්‌වෙච්ච එළවළු ගොඩගහලා තිබෙනවාද. මේ විනාශය පැටවෙන්නේ ජනතාව මතයි. මේකෙන් ගොවියාටත් වාසියක්‌ නැහැ. මේ විනාශයේ පාඩුව මුදලාලි ගන්නේ ජනතාවගෙන්.

මේ රජය ගොවියා සුරකින රජයක්‌. මට මතකයි එදා එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තියට පොහොර සහනාධාරය රුපියල් 550 ක්‌ දෙනවා කියලා දැනගත්තෙත් බොහොම අමාරුවෙන්. රනිල් වික්‍රමසිංහ කිව්වේ දිනුවත් මේක නම් දෙන්නේ නෑ කියලා.

ඒ වගේම පසුගිය කාලයේ බිත්තර, කුකුළු මස්‌, පොල් වලට ඒකාධිකාරියක්‌ එනකොට මිල ඉහළ යනකොට ඒ වෙනුවෙන් අපිට පෙනී ඉන්න සිද්ධ වුණා. අපිට මොන මොන නම් දැම්මත් රජය ගත්ත හොඳ තීරණවලට අපි පෙනී සිටිනවා.

මෙහිදී වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාද අදහස්‌ දැක්‌වූ අතර අදාළ අමාත්‍යංශයන්හි ලේකම්වරුන් නිලධාරීන් ඇතුළු පිරිසක්‌ද සහභාගි වූහ.


http://www.divaina.com/2012/01/06/news29.html

No comments:

Post a Comment