Friday, January 20, 2012

පලතුරු සහ එළවළු යුෂවලින් විවිධ නිපැයුම් වෙළෙඳ පොළට

අනුරපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පුහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල

අනුරාධපුර විශේෂ සරත් මනුල වික්‍රම

පලතුරු සහ එළවළුවලින් යුෂ ලබාගෙන ඒවා ඇසුරුම් කර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට අනුරාධපුර පුද්ගලයකු සමත් වී තිබේ.

අනුරාධපුර පිහිටි පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පුහුණුව හා උපදෙස් අනුව අනුරාධපුර ගුවන් තොටුපල පාරේ පදිංචි චින්තක මුදලිගේ මහතා විසින් මේ ව්‍යාපෘතිය අරඹා තිබේ.



ඉකුත් වසරේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තක්කාලි ටොන්ගණනක් ඉවතලීම, පළාතේ දෙහි, අඹ හා දිවුල් ආදී බොහෝ පලතුරු ගස් යට නිකරුණේ කුණුවී යාම ආදී සිද්ධීන් රැසක් සැලකිල්ලට ගෙන ඒවා ඇසුරුම් කිරීමේ තාක්ෂණය සොයායාමේ ප්‍රතිඵලයක් ලෙස පසු අස්වනු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ස්වර්ණශිකා තිලකරත්න මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මුදලිගේ මහතාට අවශ්‍ය උපදෙස් දී මඟ පෙන්වා ඇත.

ජෑම්, කෝඩියෙල්, පලතුරු බීම, ලුණු මිරිස්, හතු මෝජු, නැවුම් දෙහි යුෂ හා හතු සහිත ලුණු මිරිස් ආදී නිෂ්පාදන රැසක් ඔහු ඇසුරුම් කරයි.

දෙහි වාරයේ දී ගස් යට ඉදී විනාශ වන දෙහි අවාරයේ දී කිලෝවක් රුපියල් පන්සීය දක්වා ඉහළයන අයුරු පසුගියදා අනුරාධපුරයෙන් අත්දකිනට හැකි විය.

චින්තක හඳුන්වා දී ඇති දෙහි යුෂ බෝතලය තෙමසක් කල්තබා ගත හැකිය.

මිලක් නැති රජරට ඵලදාවට, ගොවියාට මිලක් දෙන ගමන් පාරිභෝගිකයාට ද සහන මිලකට ඒවා භුක්ති විඳීමට අවස්ථාව ලබාදීම තම අරමුණ බව චින්තක පවසයි.

හෙතෙම මෙසේ කීවේය.

“මා මුලින් සේවය කළේ මෙවැනි නිෂ්පාදන කරන සමාගමක, ඒත් මෙය යථාර්තවාදීව කරන්න මට ලොකු ආශාවක් තිබුණා. මේ තුළින් පළාතේ එළවළු පලතුරුවලට හොඳ මිලක් දෙමින් කාලීනව වටිනා ස්වයංරැකියාවක් කිරීමෙන් මට ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා.


ඒ වගේමයි අනවශ්‍ය ප්‍රවාහන වියදම් හා ඉන්ධන නාස්තියක් නොකර ප්‍රදේශය තුළම නිෂ්පාදනයක් කරන නිසා එහි ලාභයේ කොටසක් පළාතේ පාරිභෝගිකයාටත්, වෙළෙන්දාටත් ලැබෙනවා. අපේ පළාත දියුණු කරන්න නම් කළ යුතු වන්නේ මෙවැනි දේශීය නිෂ්පාදන වැඩිකිරීම.

ඡායාරූප:- අනුරාධපුර විශේෂ

http://www.dinamina.lk/2012/01/20/_art.asp?fn=r1201202

No comments:

Post a Comment