Friday, January 20, 2012

Farmer pension in crisis (2 issues)

ගොවි විශ්‍රාම වැටුප් අරමුදලේ මුල්‍ය අර්බුදය විමර්ශනය කරමින් සිටිනවා
- ආචාර්ය සරත් අමුණුගම


අජිත් අලහකෝන්, අකිත පෙරේරා

ගොවි විශ්‍රාම වැටුප් අරමුදල මුල්‍ය අර්බුදයකට ලක්‌වීම සම්බන්ධව විමර්ශනයක්‌ කෙරෙමින් පවතින බව ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ ද කීවේය.

ගොවීන්ගේ දායක මුදල අඩුවීම, විශ්‍රාම ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩිවීම, නිසි ආකාරයේ ගණනය කිරීම් සිදු නොවීම ආදිය නිසා ගොවි විශ්‍රාම වැටුප් අරමුදලේ ගැටලුවක්‌ ඇති වී තිබෙනවා.

කැබිනට්‌ අනුමැතිය මත මහා භාණ්‌ඩාගාරයෙන් අවස්‌ථා දෙකකදී රුපියල් මිලියන 664.8 ක මුදලක්‌ ලබාගෙන ගොවි විශ්‍රාම වැටුප් ගෙව්වා. දායක විශ්‍රාම වැටුප් ක්‍රම පවතින සියලු රාජ්‍ය ආයතන ඒකරාශි කර නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ඇති කිරීමට රජය කටයුතු කරගෙන යනවා. එමගින් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ට හෝ දායක මුදල් ගෙවන කිසිදු ගොවියකුට අසාධාරණයක්‌ වන්නේ නැහැ.


http://www.divaina.com/2012/01/20/news23.html


ගොවි විශ්‍රාම වැටුප් අරමුදල බංකොලොත් වී ඇත්තේ රජයේ නාස්‌තිකාර ව්‍යාපෘති සහ සැණකෙළි සඳහා මුදල් වියදම් කිරීමයි
- අනුර කුමාර දිසානායක


අජිත් අලහකෝන්, අකිත පෙරේරා

ගොවි විශ්‍රාම වැටුප් අරමුදල බංකොලොත් වී තිබෙන්නේ ගොවීන්ට විශ්‍රාම වැටුප් ලබා දෙනවා වෙනුවට එමගින් ආණ්‌ඩුවේ නාස්‌තිකාර ව්‍යාපෘති සහ ප්‍රදර්ශනාත්ම සැණකෙළි සඳහා වියදම් කිරීම නිසා යෑයි අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර. ජා. ස.) ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කීවේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ මෙම ප්‍රකාශය ඉදිරිපත් කරමින් දිසානායක මහතා මෙසේ ද කීය.

අප රටේ ජාතික නිෂ්පාදනය වෙනුවෙන් විශාල දායකත්වයක්‌ සපයන ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු අතර අද වනවිට ආන්දෝලනයට තුඩු දී තිබෙන ගොවි විශ්‍රාම වැටුප් නොගෙවීම කෙරෙහි මෙම ගරු සභාවේ අවධානය යොමු කරවමි.

ගොවි ජනතාව රටේ ජාතික නිෂ්පාදනය වෙනුවෙන් දරනු ලබන දායකත්වය අතිවිශාලය. විශේෂයෙන්ම ජනතාවගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය මිල කළ නොහැකිය. එම කාර්යය ඉටුකිරීමේදී ගොවි ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු අතිමහත්ය. ගුණාත්මක බීජ නොමැතිකම, අධික නිෂ්පාදන වියදම, සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකිවීම, ඒ වගේම විටින් විට ඇතිවන නියඟය, ගංවතුර වැනි ස්‌වභාවික විපත් ඔවුන් විශාල පීඩාවකට පත්කරයි. ඔවුන්ට සේවා මුරයක්‌ නැත. බොහෝ විට දවසේ පැය 24 ම ඔවුන්ගේ සේවා මුරයයි. ඇඟේ වීර්යය හා හිතේ ධෛර්යය තිබෙන තුරු ඔවුන් වැඩ කළ යුතුය. ඔවුන්ට නියමිත විශ්‍රාමික වයසක්‌ නැත. එසේ වන්නේ ඔවුන්ගේ එකම ජීවන මාර්ගය ගොවිතැන වීමත් එයින් ලබන ආදායම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යැමටත් ප්‍රමාණවත් නොවීමයි.

කරුණු මෙසේ හෙයින් ඔවුන් වියපත් වූවාට පසු යම් සහනයක්‌ සැපයීම වෙනුවෙන් දායක ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ආරම්භ කරන ලදී. එයින් ලැබෙන දීමනාව ඔවුන් මුqහුණ දී තිබෙන ගැටලුවලට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූවත් එය ඔවුන්ට යම් සහනයක්‌ සැලසීය. හුදු එම විශ්‍රාම වැටුප් අරමුදල රජයේ ආධාරයක්‌ නොව එයට දායක වූ ගොවි ජනතාව විසින් කන්aනයෙන් කන්නයට එනම් මාස 6 න් 6 ට වාරික මුදල් ඒ වෙනුවෙන් ගෙවීමක්‌ සිදු කරයි.

මේ වන විට ගොවි විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් දායක වූ ගොවීන් ප්‍රමාණය ලක්‍ෂ 10 කට ආසන්න බව පැවසේ. එමෙන්ම කල් පිරූ දැනට විශ්‍රාම වැටුප් ලබාගන්නා 110,000 ක්‌ පමණ වේ. එමෙන්ම කල් පිරූ එහෙත් තවමත් කිසිදු මාසයක දීමනාවක්‌ ලබා නොගත් ගොවි විශ්‍රාමලාභීන් දෛනිකව එකතු වෙමින් පවතී. මෙම විශ්‍රාම වැටුපට දායක වූ ගොවීන් මේ වනවිට විශාල දුෂ්කරතාවකට මුහුණ දී සිටී. 2011.10.28 දින කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්‌ඩලයේ සභාපතිනී නීතිඥ සුමනා ආරියදාස මහත්මිය විසින් ලිතව දැනුම් දී ඇත්තේ 2011 ඔක්‌තෝබර් මාසය වෙනුවෙන් ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මහා භාණ්‌ඩාගාරය ප්‍රතිපාදන ලබාදී නොමැති බවත් නොවැම්බර් සහ දෙසැම්බර් අදාළ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදිය නොහැකි බවයි. පසුව ඔක්‌තෝබර් මාසයේ දීමනාව දෙසැම්බර් මාසයේ ලබාදුන්නද එසේ කරනු ලැබුවේ විශ්‍රාම වැටුප් අරමුදල මගින් හෝ රජයේ භාණ්‌ඩාගාරය මගින් හෝ ලබාදෙන ලද මුදල් මගින් නොව ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට අනුබද්ධ එම අරමුදලට දායක වූවන් දායක වන රක්‍ෂණ අරමුදල මගිනි.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මුදල් මේ වනවිටද ගෙවා නැත.

මෙම තත්ත්වය හේතුවෙන් දැනට විශ්‍රාම වැටුප ලබන්නන්, එයට දායක මුදල් ගෙවන්නන් හා කෘෂි රක්‍ෂණ මණ්‌ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් යන පාර්ශ්ව තුනම අපහසුතාවට පත්ව සිටී. ප්‍රාදේශීය නිලධාරීන්ට ගොවීන් හමුවේ නිශ්චිත පිළිතුරක්‌ ලබාදීමට නොහැකිව තිබේ. විශ්‍රාම වැටුප හිමි ගොවි ජනතාවට මෙන්ම දායක මුදල් ගෙවනු ලබන ගොවි ජනතාවට ගොවි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් විශ්වාසය බිඳ වැටීමේ තත්ත්වයක්‌ උදා වී ඇත. ඒ හේතුවෙන් අරමුදල සඳහා වාරික ගෙවනවාද නැද්ද යන්න පිළිබඳ ගොවි ජනතාව දෙගිඩියාවකට පත්ව සිටී.

ගොවි විශ්‍රාම වැටුප් අරමුදල බංකොලොත්වීම සඳහා නියමිත පරිදි රජයේ භාණ්‌ඩාගාරයෙන් ලබාදිය යුතු මුදල් ලබාදී නැත. ආණ්‌ඩුව රටේ ජාතික නිෂ්පාදනයට මහඟු දායකත්වයක්‌ සපයන එම ගොවි ජනතාව වෙනුවෙන් මුදල් වෙන් නොකළද නාස්‌තිකාර ව්‍යාපෘති, ප්‍රදර්ශනාත්මක සැණකෙළි වෙනුවෙන් විශාල මුදලක්‌ වියදම් කරයි. එමෙන්ම විශ්‍රාම වැටුප් අරමුදල එහි ප්‍රමුඛ කාර්යය වන ගොවීන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදෙනවා වෙනුවට විවිධ ප්‍රචාරක හා ප්‍රවර්ධන කටයුතු මෙන්ම ඊට අදාළ නොවන වෙනස්‌ කාර්යයන් වෙනුවෙන් මුදල් වියදම් කිරීම මෙම අරමුදල බංකොලොත්වීම සඳහා හේතු සාධක සපයා ඇත.

මේ අනුව පහත ප්‍රශ්න කෙරෙහි ඇමැතිවරයා පිළිතුරු ලබාදෙනවා ඇතැයි බලාපොරොත්තු වෙමි.

හිඟ ගොවි විශ්‍රාම වැටුප් මුදල් ලබාදෙන්නේ කවදාද? එමෙන්ම කිසිදු පමාවකට පත් නොකොට සෑම මසකම නියමිත දිනයේදී ලබාදීමට කටයුතු කරන්නේද?

පසුගිය අවුරුදු 05 ඇතුළත ගොවි විශ්‍රාම වැටුප් අරමුදල මගින් ගොවීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට අමතරව යම් යම් කාර්යයන් වෙනුවෙන් මුදල් යොදවා තිබේද? ඒ කොපමණ ප්‍රමාණයක්‌ද? දායක මුදල් ගෙවන ගොවීන්ට නියමිත පරිදි විශ්‍රාම වැටුපක්‌ ගෙවීමට සහතික වන්නේද? මෙවැනි තත්ත්වයක්‌ නැවත ඇති නොවීමට යෝජනා කරන වැඩපිළිවෙළ කුමක්‌ද?


http://www.divaina.com/2012/01/20/news22.html

No comments:

Post a Comment