Thursday, February 9, 2012

ධීවර තොටුපළ හදා නොදුන්නාට කප්පරතොට ධීවරයෝ පාරට බසිති

වැලිගම - රන්ජන් ගාමිණී ජයවර්ධන


වැලිගම කප්පරකොට ධීවර තොටුපළ ධීවර කටයුතු සඳහා නිසි පරිදි සකස්‌ කර දීමට ධීවර අමාත්‍යවරයා මෙතෙක්‌ කටයුතු නොකිරීමට එරෙහිව ඊයේ (8 දා) කොළඹ පන්සියයකට අධික ධීවර ජනතාව කොළඹ - මාතර ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක නිරත වූහ.

ගාලු පාර අවහිර වනසේ ඔරු පාරු ගොඩට රැගෙන ඒ මත විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැවති උද්ඝෝෂණයට පසුගිය සුළි කුණාටුවෙන් විපතට පත් ධීවරයන්ගේ පවුල්වල සාමාජිකයෝද සහභාගි වී සිටියහ.

විරෝධතාව හේතුවෙන් කොළඹ - මාතර ප්‍රධාන මාර්ගයේ රථ වාහන අතුරු මාර්ග ඔස්‌සේ ධාවනය කිරීමට සිදුවිය. මේ නිසා ගමනා ගමනයටද අපහසුතා රැසක්‌ ඇතිවිය.

විරෝධතාව සමනය කිරීම සඳහා වැලිගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් මෙලන් කුමාරසිංහ මහතා ප්‍රථමයෙන්ම එම ස්‌ථානයට පැමිණි අතර අනතුරුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සුමිත් එදිරිසිංහ, මාතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රශාන්ත යන නිලධාරීන් ඇතුළු පොලිස්‌ නිලධාරීහු 50 කට ආසන්න පිරිසක්‌ ඊට ආරක්‌ෂාව සැපයූහ.

ඊයේ (08 දා) බදාදා පැමිණි දකුණු පළාත් රැස්‌වීමට මාතර සිට ගාල්ල බලා යමින් සිටි දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී. වී. රෝහණ ප්‍රිය උපුල් මහතාද එම විරෝධතාකරුවන් හමුවට ගොස්‌ ඊට විසඳුම් සපයනු දක්‌නට ලැබිණි. එහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ 500 කට අධික ධීවර පවුල් සංඛ්‍යාවක්‌ යෑපෙන කප්පරතොට ධීවර තොටුපළට ගල් බැම්මක්‌ යොදා එහි පතුල ගැඹුරුකොට ප්‍රතිසංස්‌කරණය කිරීමට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට වසරකට පමණ ඉහත මෙම ස්‌ථානයට පැමිණ පොරොන්දුවක්‌ දුන්නද තවමත් එය ඉටුවී නැති බවයි.

ඔවුන් පවසා සිටියේ පසුගියදා ඇතිවූ සුළිකුණාටුවෙන් ධීවරයන් 25 දෙනකු පමණ මිය ගියේද එම ධීවර තොටුපළ නිසි පරිදි සකස්‌ නොකිරීමෙන් තොටුපළ පතුලේ ගල්පරවල හැපී යාත්‍රා විනාශ වීමෙන් බවයි. එසේ විපතට පත් ධීවරයන් වෙනුවෙන් ධීවර අමාත්‍යාශය මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බව ද මියගිය ධීවරයන්ගේ පවුල්වල සමාජිකයෝ හැඬූ කඳුළින් පැවැසූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පළාත් ධීවර අමාත්‍යවරයා අද (9 දා) උදේ 10.00 ට මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ පවත්වන බවත් එහිදී මෙම ධීවර තොටුපළ ප්‍රතිසංස්‌කරණයට සියලු පියවර ගන්නා බවත්ය.


http://www.divaina.com/2012/02/09/news22.html

No comments:

Post a Comment