Friday, March 9, 2012

ළදරු ඒකකය තාවකාලිකව වසා දමයි

ශ්‍රියානි විජේසිංහ, සංජය නල්ලපෙරුම, පැතුම් වික්‍රමරත්න

මහ මෝදර මහ රෝහ‍ලේ විශේෂිත ළදරු ඒකකය තාවකාලිකව වසා දැමීමට විශේෂඥ කමිටුව ඊයේ (08) තීරණය කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි පත්කළ පස් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායම මගින් රෝහ‍ලේ විශේෂිත ළදරු ඒකකය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. විශේෂඥ කණ්ඩායම මගින් සකස් කළ වාර්තාව ඊයේ (08) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට බාර දුන් බවද හෙතෙම සඳහන් කළේය. විශේෂිත ළදරු ඒකකයේ බැක්ටීරියාව පවතින්නේද කුමන ස්ථානයකද යන වග සොයා බලා එය ප්‍රකාශ කර එම ඒකකය මුළුමනින්ම පිරිසිදු කරනතාක් එය මෙසේ තාවකාලිකව වසා දමනු ලැබේ. ඒ අනුව විශේෂිත ළඳරු ඒකකයේ රැඳවිය යුතු බිළිඳුන් වෙනත් රෝහල්වලට මාරු කර හැරීමටද කටයුතු කරනු ඇත. මෙම ඒකකයේ පවතින බැක්ටීරියාව කුමක්ද වන වග පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේදී නිකුත් කළ හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.

පරීක්ෂණ වාර්තාව සඳුදා අමාත්‍යංශයට

ගාල්ල මහමෝදර රෝහ‍ලේ බිලිඳුන් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් යවා ඇති බවත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව ලබන සදුදා දිනයේදී අමාත්‍යංශයට ලැබිමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
එම වාර්තාව ලැබුණු පසුව මාධ්‍ය සාකචිඡාවක් පවත්වන බවත් එහිදී ඕනෑම අයෙකුට මේ පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් නැගීමේ අවස්ථාව හිමිවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය මාස තුන ඇතුළත මහමෝදර රෝහ‍ලේ බිලිඳු මරණ 18ක් වාර්තා වී තිබූ බවද ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ තොරතුරු ලබාගෙන ඇත්තේ මාධ්‍යයෙන් බවද එම තොරතුරු අසත්‍ය තොරතුරු වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. එම තොරතුරු නිල වශයෙන් ලබාගෙන තිබෙන තොරතුරුදැයි ඒ මහතා ප්‍රශ්න කළේය.
තමන් එම තොරතුරු නිල වශයෙන් ලබාගෙන තිබෙන ඒවා බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේය.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2101:lkjelkjkd&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment