Thursday, March 8, 2012

Kataragama gem deposit (2 items)

තම්මැන්නා මැණික්‌ නිධිය ප්‍රදේශයට අධි තාක්‌ෂණික කැමරා

සිරිමන්ත රත්නසේකර

වෙන්දේසි කරනු ලැබූ කතරගම තම්මැන්නා ප්‍රදේශයේ මැණික්‌ නිධිය සහිත භූමි ප්‍රදේශය අධි තාක්‌ෂණික ආරක්‌ෂිත කැමරා පද්ධතියකින් ආවරණය කරනු ලැබූ බව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා ඊයේ (07 වැනිදා) "දිවයින" ට පැවැසීය. මෙම ආවරණයත් සමඟ එහි සෑම කටයුත්තක්‌ම ඉන් පිටත සිට නිරීක්‍ෂණය කළ හැකි බවත් සභාපතිවරයා පවසයි.

අවශ්‍යතාවක්‌ ඇතොත් තම්මැන්නා මැණික්‌ නිධිය ප්‍රදේශයේ සිදුවන කටයුතු කොළඹ සිට වුවද නිරීක්‍ෂණය කළ හැකි බවත් හෙතෙම කීවේය.

මේ ප්‍රදේශයට යොදවා තිබූ පොලිස්‌ හා හමුදා ආරක්‌ෂාව තවදුරටත් ලබාදෙන බවත් ගල්හේන මහතා පවසයි.


http://www.divaina.com/2012/03/08/provin03.html


කතරගම නිධිවල හිතූ තරම් මැණික් නෑ

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර සහ කතරගම කේ.ඩී. දේවප්‍රි

රුපියල් මිලියන 270ක ආදායම් වාර්තාවකට හිමිකම් කියමින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණුනු කතරගම, තම්මැන්නාව මැණික් නිධියෙන් හිතූතරම් මැණික් ලැබි නැතැයි කතරගම සහ රත්නපුරයේ මැණික් වෙළෙඳ‍පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම තත්ත්වය නිසා තම්මැන්නාවේ මැණික් ඉඩම්, වෙන්දේසියෙන් මිලදී ගත් ව්‍යාපාරිකයන් මහත් කන-ස්සල්ලෙන් පසුවන බවත් මැණික් මිලදී ගැනීම් පිණිස කතරගමට පැමිණ සිටි, පිට පළාත්වල මැණික් වෙළෙන්දන් සෑහෙන පිරිසක් ඊයේ (07) සවස් වන විට ආපසු ගොස් ඇති බවත්, කතරගම මැණික් වෙළෙඳ‍පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

මැණික් වෙළෙඳ‍පොළ ආරංචි මාර්ග පවසන අන්දමට වෙන්දේසි ඉඩම්වලින් සැලකිය යුතු මැණික් ප්‍රමාණයක් ලැබි ඇත්තේ ඉහළම මිලකට විකිණිනු බිම් කොටස් දෙකක පමණකි. ඉන් එක් ඉඩමකින් කිරි පිටි බෝතලයක් පුරවාලන්නට තරම් නිල් මැණික් තොගයක් හමු වී ඇති බවට ආරංචියක් මැණික් වෙළෙන්දන් අතර, පැතිරයමින් තිබිණි. අධික මිලක් ගෙවා බිම් කොටසක් ලබාගත් එක්තරා ව්‍යාපාරිකයකුගෙන් මැණික් ලැබුණා දැයි විමසූ විට ඔහු මාධ්‍යවේදීන්ට කියා ඇත්තේ ඔව් හම්බුණා. හොඳට හම්බුණා. සේරම හම්බවුණේ සංස්ථාවටනේ යනුවෙනි.

සාමාන්‍යයෙන් ලොකු මැණික් ලැබුණාම ඒ ගැන කාටවත් කියන්නේ නෑ. ඒත් ඒවා අලෙවි කරන්න ගියාම යම් තරමකට ආරංචි වෙනවා. මේකේ එහෙමත් නෑ. අනෙක සාමාන්‍ය මිනිස්සු තුන්දාහක් විතර ගරනවා. ඒ අයගේ ගල්වත් අලෙවියට වෙළෙඳ ‍පොළට එන්නේ නෑ. කතරගමට පැමිණ සිටි මැණික් ව්‍යාපාරිකයෙක් පැවැසීය.

මේ අතර, රත්නපුරයේ සිට කතරගමට ගොස් මැණික් මිලදී ගැනීම පිණිස කරක් ගැසූ තවත් ව්‍යාපාරිකයකු සඳහන් කළේ මං දවස් දෙකක් කතරගම හිටියා. ඒත් එක නිල් මැණික් ගලක්වත් දැක්කේ නෑ. කට්ටියක් මට පුෂ්පරාග කෑලි දෙකක් රුපියල් ලක්ෂ හතහමාරකට විකුණන්න හැදුවා. අතට අරන් බලපුවාම ඒවා එක්ස්රේ කරපු (කෘත්‍රිමව සකස් කරන) ගල්. මං ඉතින් මගහැරියා. යනුවෙනි.

තම්මැත්නාවේ මැණික් නිධිය අවධානයට ලක්වීමත් සමගම බේරුවල රත්නපුර බලංගොඩ සහ ඇහැලියගොඩ වැනි ප්‍රදේශවල සමහර ව්‍යාපාරිකයන් සතුව තිබූ විකුණාගත නොහැකි වූ මැණික් ගල්ද ඉහළ මිලකට විකිණී ගිය බව දැනගන්නට ඇත. ඒවා කතරගමින් ලැබුණු මැණික් ගල්බව අඟවා කතරගමදීම අලෙවිකර ඇතැයිද කියති.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2078:2012-03-07-18-51-07&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment