Friday, February 1, 2013

Press Release: ධීවර කර්මාන්තය සඳහා නීතිවිරෝධී මසුන් මැරීමේ ක‍්‍රම භාවිතා කිරීම වැළැක්වීම සම්බන්ධව (On the prevention of the use of illegal fishing gear)


2012.01.31
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයයි
සියළුම මාධ්‍ය ආයතන වෙත,
මහත්මයාණෙනි / මහත්මියණි,

ධීවර කර්මාන්තය සඳහා නීතිවිරෝධී මසුන් මැරීමේ ක‍්‍රම භාවිතා කිරීම වැළැක්වීම සම්බන්ධව.

ශ්‍රී ලංකාව තුල භාවිතා කරන නීතිවිරොධී මසුන් මැරීමේ ක‍්‍රම පාළනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේය. එලෙසම මෙරට මත්ස්‍යය සම්පතෙහි තිරසාර භාවිතයට උපකාරීවන ධීවර උපක‍්‍රම ප‍්‍රචලිත කිරීමද එම ආයතනයෙහි වගකීමක් කොට සලකමු. මෙම නීතිවිරෝධී ධීවර ක‍්‍රම පාළනය කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියාකරන ධීවර පරීක්ෂකවරු ඉතා විශාල මෙහෙයක් සිදු කරන ලද නමුත් මේ වන විට නැවතත් නීතිවිරෝධී ධීවර ක‍්‍රම වැඩිවෙමින් පවතින බවට අපහට පෙනීයයි. ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන නීතිවිරෝධී ධීවර ක‍්‍රම වන්නේ ඩයිනමයිට් යෙදීම සහ ”ලයිලා දැල්” වැනි තහනම් දැල් භාවිතයයි. මෙම ක‍්‍රම තහනම් කිරීමට ප‍්‍රධාන හේතුව වන්නේ එම ක‍්‍රම භාවිතයේදී කුඩා මත්ස්‍යය පැටවු මෙන්ම ආහාරයට නොගන්නා මත්ස්‍යයන් පවා මිය යාමය. එමඟින් මත්ස්‍යය පැවැත්මට දැඩි බලපෑමක් සිදුවේ.

මෙහි නවතම සිදුවීම පසුගිය දින කල්පිටිය ආශ‍්‍රිත මුහුදු කළාපයෙහි සිදුවූ ඩොල්ෆින් සංහාරයයි. මෙය ඉතා ඛේදනීය තත්වයකි. මෙලෙස නීතිවිරෝධී ”ලයිලා දැල” භාවිතයෙන් මරාදමා ඇත්තේ කල්පිටිය ආශ‍්‍රිත මුහුදෙහි බහුලව ගැවසෙන ඩොල්ෆින් විශේෂයක් වන විද්‍යාත්මකව Stenella longirostris ලෙස හඳුන්වන Spinner Dolphin නොහොත් සන්නාලි මුල්ලා වේ. එම සතුන් පිළිබඳව මේවන තෙක් ලෝකයේ නිවැරදි අධ්‍යනයක් සිදුවී නොමැත. එසේම මීට මාස කිහිපයකට පෙරදී පළවූ ජාතික රතු දත්ත පොතට අනුව මෙම සතුන් දත්ත ඌන වර්ගීකරණය යටතේ වර්ගකොට ඇත. ශ්‍රී ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා අඥා පනතට අනුව මෙම මුහුදු ක්ෂීරපායී විශේෂය ආරක්ෂිත සත්වයෙකු ලෙස නම්කොට ඇත.

මෙලෙස ලයිලා දැල භාවිතා කර මසුන් ඇල්ලීමේදී ඔක්සිජන් වායු ටැංකි භාවිතාකර කිමිදීම මඟින් දැල එළීම සිදුකරන අතර කල්පිටිය ප‍්‍රදේශයේ මෙම ක‍්‍රමය භාවිතාකරන්නේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය සඳහා ඔක්සිජන් වායු ටැංකි භාවිතා කිරීමට බලපත‍්‍ර ලද ඇතැම් පුද්ගලයින් බවට අපහට දැනගන්නට ලැබී ඇත. පාරම්පරිකව සුරතල් මත්ස්‍යය කර්මාන්තයෙහි නියැළුනු ධීවරයන්ට හැර වෙනත් පුද්ගලයන් හට මෙම බලපත‍්‍රය ලබාදීම හේතුවෙන් ඔවුන් මෙම බලපත‍්‍රය අයුතු ලෙස භාවිතා කර මෙවැනි නීතිවිරෝධී ක‍්‍රියා සිදුකරනු ලබයි.

මීට අමතරව නීතිවිරෝධී ක‍්‍රමයක් වන ඩයිනමයිට් යොදා මසුන් මැරීම ද මෙම ප‍්‍රදේශයේ බහුලව සිදුවන බව පාරම්පරික ධීවර ජනතාව පවසයි. මෙය අප රටෙහි මත්ස්‍යය ප‍්‍රජවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වේ. එබැවින් මෙම නීතිවිරෝධී ධීවර ක‍්‍රමයෙහි නියැලෙන්නන් අත්අඩංගුවට ගැනීම නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා පොලිසිය සතු වගකීමකි. මෙලෙස ධීවරයන් අතට පුපුරණ ද්‍රව්‍ය පත්වීම පිළිබඳව සොයබලන ලෙස අප ගරු ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිමු.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල්පිටිය ප‍්‍රදේශයේ තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් නැරඹීමට ප‍්‍රවේශපත‍්‍ර විකිණීම මඟින් විශාල ආදායමක් ලබාගන්නා බැවින් මෙම නීතිවිරෝධී ක‍්‍රම නැවැත්වීමට විශේෂ වගකීමක් ඔවුන් සතුව පවතී. නමුත් අවාසනාවකට එම වනජීවී නිළධාරීන් හට

ලබාදී ඇති ඉතා අඩු පහසුකම් මත ඔවුන් ඒවා නැවැත්වීමට අපොහොසත්වී ඇත. කල්පිටිය වනජීවී නිළධාරීන් සඳහා එම දෙපාර්තමේන්තුවෙන් බෝට්ටුවක් පවා ලබාදී නොමැත. මෙම තත්වය මෙවැනි නීතිවිරෝධී ක‍්‍රියා බහුලව සිදුවන ත‍්‍රිකුණාමළය, නිළාවැලි ප‍්‍රදේශයේ පරවි දූපත සමූද්‍ර ජාතික උද්‍යානය ආශ‍්‍රිතවද දැකිය හැක. මෙම ස්ථාන වලින් ඇතැම් මාස වලදී රුපියල් 500,000කට වඩා ආදායමක් ලබන බව අපහට දැනගන්නට ලැබී ඇත. නමුත් එම ආදායමෙන් පෙරලා, මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සැළකිය යුතු කාර්්‍යයක් සිදුනොවේ.

අප රටෙහි ජෛවවිවිධත්වයට මෙන්ම ධීවර සම්පතට විශාල හානියක් වන මෙම නීතිවිරෝධී ධීවර ක‍්‍රම නැවැත්වීමට අදාල ආයතන වගබලාගත යුතුය. එම කටයුතු සඳහා යම්කිසි සහයෝගයක් අවශ්‍යය වේ නම් අප සංවිධාන ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මැදිහත්වනු ඇත.

ස්තූතියි,
මීට විශ්වාසී,


ගයාන් ප‍්‍රදීප් විජේතුංග
වැඩසටහන් කළමණාකරු
ස්භාවික සම්පත් සංරක්ෂණ සහ කළමණාකරන වැඩසටහන
ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය                          
අංක 09, පළමු පටුමග, වනාත පාර, ගංගොඩවිල, නුගේගොඩ

එස්. දීපංකර ද සිල්වා
සභාපති
ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
දෙහිවල

No comments:

Post a Comment