Saturday, May 4, 2013

හිටපු පරිසර අමාත්‍යතුමා විසින් තහනම් කරන ලද ඉළුඹකන්ද මාර්ගය, සිංහරාජ වනාන්තරය හරහා නැවතත් ඉදිකෙරේ.

පුවත්පත් නිවේදනය
2013.05.03

සියළුම මාධ්‍ය ආයතන වෙත,
ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ/ ප‍්‍රවෘත්ති කතෘ,

හිටපු පරිසර අමාත්‍යතුමා විසින් තහනම් කරන ලද ඉළුඹකන්ද මාර්ගය, සිංහරාජ වනාන්තරය හරහා නැවතත් ඉදිකෙරේ.


සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් 2011 වසරේ ඉදිකිරීම ආරම්භකල ඉළුඹකන්ද මාර්ගය පරිසරවේදීන්ගේ බලවත් බලපෑම සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ ඉල්ලීම මත පරිසර අමාත්‍යතුමා විසින් අත්හිටුවන ලදී. නමුත් නැවතත් ඉතා රහසිගත ලෙස එම මාර්ගය ඉදිකිරීම ආරම්භකර ඇත.

ඉළුඹකන්ද ග‍්‍රාමයේ සිට හඳපාන්ඇල්ල හරහා රක්වාන- කළවාන මාර්ගය දක්වා ඉදිකිරීම් ආරම්භකල මෙම මාර්ගය මඟින් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට ඉතා විශාල බලපෑමක් එල්ලවිය. ඉළුඹකන්ද ග‍්‍රාමයේ සිට පොතුපිටිය හරහා කලවාන නගරය දක්වා මාර්ගයක් තිබෙන අතර එම මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවට සිංහරාජ වනාන්තරය හරහා මෙලෙස නව මාර්ගයක් ඉදිකිරීම ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවය මත සිදුවිය.
මෙම මාර්ගය පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ අප ආයතනය විසින් එවක රත්නපුර දිසා අධිකරණයෙහි පෙත්සමක් ගොනුකොට පරිසර අමාත්‍යවරයාට කමිටුවක් පත් කර තීරණයක් ගැනීමේ කාලය ලබාදෙන ලදී. ඒ අනුව එවකට පරිසර ඇමතිතුමාව සිටි අනුර ප‍්‍රියදර්ශන යාපා මැතිතුමා විසින් එම සිදුවීම පිළිබඳව වාර්ථාවක් ලබාගැනීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරන ලදී. එම කමිටුව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් අතර ඔවුන් විසින් සිදුකරන ලද ක්ෂේත‍්‍ර අධ්‍යයනයෙන් පසුව සවිස්තර වාර්තාවක් ඇමතිතුමන් හට භාරදෙන ලදී. එම මාර්ගය ඉදිවුවහොත් සිංහරාජ වනාන්තරය දෙකඩවීම මඟින් එහි ජෛවවිවිධත්වයට විශාල බලපෑමක් වන බැවින් මාර්ගය ඉදිකිරීම නැවැත්විය යුතු බවට එම වාර්තාවේ නිර්දේශය විය. එ් අනුව ඇමතිතුමා විසින් මාර්ගය ඉදිකිරීම වහාම තහනම් කරන ලදී. එම තීන්දුව පසුබිම් කරගනිමින් අප විසින් ගොනුකරන ලද පැමිණිල්ල නැවත ගොනු කිරීමේ අවස්ථාව තබා ගනිමින් ඉවත් කර ගන්නා ලදී. මීට අමතරව යුනෙස්කෝ ලෝක උරුම ලේකම් කාර්යාලය දැනුවත් කරමින් එහි ශ‍්‍රී ලංකා නේවාසික නියෝජිතයේ අවධානය යොමු කරවා ගැනීමද සිදු විය.

නමුත් මේ වන විට ඉළුඹකන්ද මාර්ගයෙහි ඉදිකර ඇති කොටස කොන්ක‍්‍රීට් කිරීම සඳහා ඩෝසර් යන්ත‍්‍ර යොදාගනිමින් සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. එසේම ඉතා රහසිගත ලෙස වනාන්තරය තුල ගස්කපමින් මාර්ගය ඉදිකිරීම සිදුවන බවට අපහට දැනගන්නට ඇත. මෙම කටයුතු සඳහා රජයේ නිළධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගයද ලැබෙන බවට අප වෙත තොරතුරු ලැබී ඇත. මෙම මාර්ගය සංවර්ධනය පිටතට අනාවරනය වීම වැලැක්වීම සඳහා මේ වන විට ඉළුඹකන්ද ග‍්‍රාමයට පැමිණෙන පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ලක්කරන බවත් මේ ග‍්‍රාමය හරහා සිංහරාජයට ගමන්කරන සංචාරකයින් හරවා යැවූ අවස්ථා කිහිපයක්ම වාර්ථාවේ. ඉළුඹකන්ද ග‍්‍රාමයට ආසන්නතම නගරය වන කළවාන නගරයට ඇති අබලන් මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවට රජය විසින් ඉදිකිරීම තහනම් කල ජන ශූන්‍ය ඝන වනාන්තරයක් හරහා වැටී ඇති අඩක් ඉදිකල මාර්ගයක් අධික වියදමක් දරා සංවර්ධනය කිරීම එම ප‍්‍රදේශවාසීන්ගේ අවශ්‍යයතාවට නොව සිංහරාජ වනාන්තරය තුල සිදුවන නීතිවිරෝධී කටයුතු පහසුකිරීම සඳහා සිදුවන්නක් බව මෙහිදී සඳහන්කල යුතුය.
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට සහ එහි ජෛවවිවිධත්වයට සිදුවන මෙම විනාශය හැකි ඉක්මනින් නවතන ලෙසත් ඉළුඹකන්ද ග‍්‍රාමයේ වෙසෙන ජනතාව තම එදිනෙදා කටයුතු සඳහා භාවිතාකරන පොතුපිටිය මාර්ගය සංවර්ධනය කරදෙන ලෙසත් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අදාල වන අපරාධයන්ට සම්බන්ධ බොහෝ පුද්ගලයින්ගේ තොරතුරු සියල්ල වාර්තා වී ඇති බැවින් නැවතත් නීතිමය කටයුතු සිදුකිරීමට අප ආයතනය සූදානම් බවත් අවධාරනය කර සිටිමි.


ස්තූතියි,
මෙයට විශ්වාසී,


ගයාන් ප‍්‍රදීප් විජේතුංග
වැඩසටහන් කළමණාකරු,
ස්වභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන

No comments:

Post a Comment