Thursday, May 23, 2013

වනාන්තරය අනතුරේ හෙළමින් සිංහරාජය මැදින් දිවෙන පාරේ ඉදිකිරීම් යළි ඇරඹේ

වනාන්තරය අනතුරේ හෙළමින් සිංහරාජය මැදින් දිවෙන පාරේ ඉදිකිරීම් යළි ඇරඹේ

(ටී. ඩබ්ලිව්. අනූෂා)

සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් කෙරුණු මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හොර රහසේ ම නැවත ආරම්භ කර තිබෙන බව පරිසරවේදීහු පවසති. මේ පිළිබඳව තමන්ට විශ්වාසනීය මාර්ගයකින් දැනගන්නට ලැබුණු බව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ස්‌වාභාවික සම්පත් සංරක්‌ෂණ හා කළමනාකරණ වැඩසටහනෙහි වැඩසටහන් කළමනාකරු ගයාන් ප්‍රදීප් විඡේතුංග මහතා විදුසර කළ විමසීමක දී පැවසී ය.

"මේ වන විට ඉලුඹකන්ද මාර්ගයෙහි ඉදි කර තිබූ මාර්ගය කොන්ක්‍රීට්‌ කිරීම ද සිදු කෙරෙනවා. වනාන්තරයේ ගස්‌ කපමින් මාර්ගයේ ඉදි කිරීම් සිදු වන්නේ රජයේ නිලධාරීන් කිහිප දෙනකු ගේ ද සහයෝගය ඇති වයි. මේ සිදුවීම් අනාවරණය වීම වැළැක්‌වීමට ඉලුඹකන්ද ග්‍රාමයට පැමිණෙන්නන් ද දැඩිව පරීක්‌ෂාවට ලක්‌ කරනවා. සිංහරාජය නැරඹීමේ අරමුණින් පැමිණෙන සංචාරකයන් නැවත හරවා යෑවීම කණගාටුවට කරුණක්‌."

යනුවෙන් ඒ මහතා පවසයි. අඩි 20ක්‌ පළලැති, කිලෝ මීටර 6ක්‌ පමණ දිගින් යුතු වන මේ මාර්ගය ඉදි කරෙන්නේ සිංහරාජ වනාන්තරයේ නැෙ`ගනහිර කොටසේ ඉලුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා ය. හරිත ව්‍යාපාරය විසින් ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව හිටපු පරිසර අමාත්‍යවරයා විසින් අත්හිටුවන ලද මේ මාර්ගය සංවර්ධනය කිරීම නැවතත් ආරම්භ කර තිබෙන්නේ ඉලුඹකන්ද ග්‍රාමය ආසන්න නගරය වන කලවාන නගරය දක්‌වා පොතුපිටිය හරහා දැනට තිබෙන අබලන් මාර්ගය සංවර්ධනය කිරීමට හැකියාව තිබිය දී ය. ඒ අනුව මේ මාර්ගය සිංහරාජ වනාන්තරයේ නීති විරෝධී, විනාශකාරී කටයුතු පහසු කිරීමේ අරමුණ ඇති ව ඉදි කෙරෙන්නක්‌ ද යන්න පිළිබඳව පරිසරවේදීන් තුළ විශාල සැකයක්‌ මතු වී ඇත.

කුට්‌ටිකරණය කෙරුණු සිංහරාජ වනාන්තරයේ කොටස්‌ නැවත වනාන්තරයට පවරා ගැනීමෙන් මෙවැනි විනාශ වළක්‌වා ගත හැකි බව පරිසරවේදීන් යෝජනා කළ ද ඒ සඳහා ස්‌ථිරසාර ප්‍රතිචාරයක්‌ තවමත් නැති බව ද දැන ගන්නට ඇත. මේ පිළිබඳව විමසීමට, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට විදුසර කිහිප වතාවක්‌ ම උත්සාහ කළ ද ඔවුන් ගේ කාර්යබහුලතාව හේතුවෙන් සම්බන්ධ වීමට නොහැකි බව ඒ සැම විට ම පාහේ ලැබුණු ප්‍රතිචාරය විය.

ඉලුඹකන්ද ග්‍රාමයේ සිට හඳපාන්ඇල්ල හරහා දිව යන මේ මාර්ගය අවට ඇති වනාන්තර පෙදෙස ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාක සත්ත්ව යන දෙවර්ගයෙන් ම සමන්විත ය. එබැවින් මෙවැනි ඉදි කිරීමක්‌ ම`ගින් මෙහි ජෛව විවිධත්වයට දැඩි හානි පැමිණීම අවිවාදිත ය.

ලෝක උරුමයක්‌ වන සිංහරාජ වානාන්තරයට සහ එහි ජෛවවිවිධත්වයට සිදු වන මේ විනාශය හැකි ඉක්‌මනින් නැවැත්වීම සඳහා කටයුතු කර ඉලුඹකන්ද ප්‍රදේශවාසීන් ගේ දෛනික කටයුතු සඳහා භාවිත කරනු ලබන පොතුපිටිය මාර්ගය සංවර්ධනය කරන ලෙසත්, සිංහරාජ වනාන්තරය ආරක්‌ෂා කරන ලෙසත් පරිසරවේදීහු ඉල්ලා සිටිති.

http://www.vidusara.com/2013/05/22/news3.html

No comments:

Post a Comment