සන්ධ්‍යා කරුණාරත්න
මේ වසරේ ගත වූ දින 16 යේදී විදේශ සංචාරකයන් 60,989 දෙනෙකු මෙරටට පැමිණි බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව සංචාරක කර්මාන්තය මඟින් මෙරටට ඩොලර් තුන්ලක්ෂ අනූතුන්දහස් අටසිය හැටපහක (3,93,865) ක ආදායමක් ලබා දුන් බව ද ඇමැතිවරයා පැවැසුවේය.
මේ ප්‍රවණතාවට අනුව මේ මස අවසානය වන විට මෙරටට සංචාරකයන් ලක්ෂය ඉක්මවා පැමිණෙන බවට ගණන් බලා ඇති බව ද ඒ මහතා කීය. ශ්‍රී ලංකා සංචරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා ඊයේ (17) මේ බව ප්‍රකාශ කළේය. මේ වසර ඉක්ම වන විට සංචාරක කර්මාන්තයේ ආදායම ඩොලර් බිලියනය ඉක්ම වනු ඇති බවට විශ්වාස කරන බව ද ඇමැතිවරයා පැවැසීය.
සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගැනීම සඳහා පසුගිය වසරේ ආරම්භ කළ “සංචාරක උදාව” වැඩසටහන මේ වසරේදී ද ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා ඇත. ඒ අනුව “සංචාරක උදාව - 2012” වැඩසටහන මේ මස 31 වැනිදා කොළඹ සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටල් පරිශ්‍රයේ දී සවස 3 සිට රාත්‍රි 9 දක්වා පැවැත්වෙන අතර එය මහජනයා සඳහා ද විවෘත වේ. සුළු, මධ්‍ය පරිමාණ හා ඒක පුද්ගල ව්‍යාපාර සඳහා වෙළඳපොළක් නිර්මාණය කරදීම මේ වැඩසටහනේ අරමුණ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සංචාරක උදාව - 2012 සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනට අදාළව වෙළඳ කුටි 150 ක් පමණ දැනටමත් අලෙවි වී ඇති බවත් තවත් කුටි 50 ක් පමණ ඉතිරි වී ඇති බවත් ඇමැතිවරයා කීය. සංචාරක ආකර්ෂණයක් පවතින ශ්‍රී ලංකාව නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ කැමැත්තක් දක්වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය. අධිවේගී මාර්ග නිර්මාණය වීමත් සමඟ ඉදිරි කාලයේ දී පැයක්, පැය එක හමාරක් පමණ කාලයකදී රටේ ඕනෑම ස්ථානයකට යාමේ හැකියාව උදා වන බව ද ඇමැතිවරයා කීය. මේ අවස්ථාවට ශ්‍රී ලංකා සංචරණයේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා විදේශ සංචාරක කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිල්මින් නානායක්කාර මහත්වරු සහභාගි වූහ.
http://www.dinamina.lk/2012/01/18/_art.asp?fn=n1201184
No comments:
Post a Comment