Wednesday, January 18, 2012

ජනපතිගේ නියෝගයකින් පෞද්. විශ්‍රාම වැටුප් පනත පාර්ලිමේන්තුවෙන් ඉවතට!

අජිත් අලහකෝන්

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත සහ විදේශ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත මෙන්ම විශ්‍රාම වැටුප් (අනුෂාංගික විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් වහා ඉවත් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්‌ඩු පක්‍ෂ ප්‍රධානීන්ට නියෝග කර ඇත.

ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම පෙරේදා (16 දා) අරලියගහ මන්දිරයේදී රැස්‌ වූ අවස්‌ථාවේදී මාස හයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් නොකිරීම පිළිබඳව මන්ත්‍රීවරුන්ට දොස්‌ නඟා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින" ට දැනගන්නට ලැබිණි.

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප් යෝජනාව පාර්ලිමේන්තුවට මාස කීපයකට පෙර ඉදිරිපත් කරන අවස්‌ථාවේදී ඊට දැඩි විරෝධතා එල්ල වූ අතර ඒ අනුව එම පනත ගෙන නොඑන බවට රජය ප්‍රකාශ කළේය.

එහෙත් එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් මෙතෙක්‌ කලක්‌ ඉවත් කර නොමැති අතර විරුද්ධ පක්‍ෂය ද අවස්‌ථා කිහිපයකදීම න්‍යාය පත්‍රයෙන් එම පනත් ඉවත් කරන්නැයි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව මෙම පනත් කෙටුම්පත් න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.

මේ අතර අද (18 දා) පාර්ලිමේන්තුවේදී සේවක අර්ථ සාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය. මෙම පනතේ ද විශ්‍රාම වැටුප් සම්බන්ධව තිබෙන වගන්ති සියල්ල ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.


http://www.divaina.com/2012/01/18/news01.html

No comments:

Post a Comment