Wednesday, January 4, 2012

රුපියල පිරිහීමෙන් මෙරට විදේශ ණය ඉහළ ගිහින්

ශ්‍යාම් නුවන් ගනේවත්ත

වර්ෂ 1977 සිට ගිය වසරේ (2011) නොවැම්බර් දක්‌වා කාලයේදී රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය තොගය රුපියල් බිලියන 677.3 කින් (රු. කෝටි 67730 කින්) ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

රුපියල පිරිහීම නිසා වැඩි වූ මේ විදේශ ණය තොගය මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 30 ක්‌ පමණ වන බවට ගණන් බලා ඇතැයිද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03 දා) කොළඹ මහ බැංකු මූලස්‌ථානයේදී 2012 වර්ෂය සහ ඉදිරිය සඳහා වන මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්‌ම නිලවශයෙන් ප්‍රකාශයට පත් කරමිනි.

මේ කාලයේදී රුපියල විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‌ෂව පිරිහීම නිසා ඇමරිකානු ඩොලර්වලින් ගත් ණය රු. කෝටි 13160 කින්ද, විශේෂ ගැනුම් හිමිකම් (එස්‌. ඩී. ආර්.) වලින් ගත් ණය රු. කෝටි 22500 කින්ද, ජපන් යෙන්වලින් ගත් ණය රු. කෝටි 28940 කින්ද, යුරෝ වලින් ගත් ණය රු. කෝටි 1200 කින් සහ වෙනත් විදේශ ව්‍යවහාර මුදල්වලින් ගත් ණය රුපියල් කෝටි 19400 කින්ද ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේය.

මේ නිසා ජපන් යෙන් වලින් ගත් ණය ප්‍රමාණය පමණක්‌ සියයට 52.6 කින් වර්ධනය වී ඇති බවද කබ්රාල් මහතා කීවේය.

දැනට පවතින අයහපත් ලෝක ආර්ථික වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ (2012) දී සියයට 8 ක ඉහළ ආර්ථික වර්ධනයක්‌ ලබා ගනු ඇතැයි අපේක්‌ෂා කරන බවද කබ්රාල් මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ පවතින සමස්‌ත ආර්ථික පරිසරය සහ අප අනුගමනය කරන සර්ව ආර්ථික ප්‍රතිපත්ති, 2012 වසරේදී දැනට පවතින ඉහළ ආර්ථික වර්ධනය තවදුරටත් පවත්වා ගැනීමට ඉවහල් වනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

මේ අවස්‌ථාවට මහ බැංකුවේ මුදල් මණ්‌ඩල සාමාජිකයෝ සහ ශ්‍රී ලංකාවේ සියලුම බැංකු හා මූල්‍යායතනවල සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීහු ඇතුළු උසස්‌ නිලධාරීහු විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ. මෙහිදී පිළිගැනීමේ කතාව කළේ මහ බැංකු නියෝජ්‍ය අධිපති චන්ද්‍රා ප්‍රේමරත්න මහත්මියයි.


http://www.divaina.com/2012/01/04/news05.html

No comments:

Post a Comment