Thursday, February 9, 2012

ජාත්‍යන්තර ප්‍රමිතියට බෙහෙත් හදන්න නව කම්හලක්‌

ප්‍රභාත් විතාන

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඖෂධ නිපදවීමේ නව කර්මාන්තශාලාවක්‌ ආරම්භ කිරීමට ආයුර්වේද ඖෂධ සංස්‌ථාව කටයුතු යොදා ඇත.

ඒ අනුව විදේශීය රටවලින් දේශීය ඖෂධ කෙරෙහි වැඩි ඉල්ලුමක්‌ ඇතිවී තිබෙන බැවින් එම එටවල්වලට ඖෂධ සැපයීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව නව කර්මාන්තශාලාව ඉදි කරන බව ආයුර්වේද ඖෂධ සංස්‌ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඊට අදාළ පර්චස්‌ 420 ක ඉඩම මිලදී ගැනීමට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇති බවත් මහා භාණ්‌ඩාගාරයෙන් රුපියල් මිලියන 50 ක්‌ හා මහජන බැංකුවෙන් රුපියල් මිලියන 60 ක ණය මුදලක්‌ ලබාදීමටද පියවර ගෙන ඇති බවත් චන්ද්‍රසිරි මහතා කියා සිටියේය.

නව කර්මාන්තශාලාව ඉදිකිරීමෙන් අනතුරුව ඕනෑම රටකට ගැලපෙන ආකාරයෙන් ඖෂධ නිෂ්පාදනය කළ හැකි බවත් මෙම කර්මාන්තශාලාවෙන් රූපලාවන්‍ය ඖෂධ වර්ග, ඖෂධ පානයන්, සබන් බර්ග, දත් බෙහෙත් නිපදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා අක්‌කර 100 ක ඔසු උයන් සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

මේ වන විට ආයුර්වේද ඖෂධ සංස්‌ථාව මගින් ජපානය, ඔස්‌ටේ්‍රලියාව, පලස්‌තීනය වැනි රටවලට ඖෂධ අපනයනය කිරීමට අවශ්‍ය මූලික පරීක්‍ෂණ සඳහා සාම්පල ලබාදී තිබේ. නිසි ප්‍රමිතියට අනුකූලව ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාගේ උපදෙස්‌ මත දැනට තිබෙන කර්මාන්තශාලා නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


http://www.divaina.com/2012/02/09/provin08.html

No comments:

Post a Comment