Thursday, February 9, 2012

කහ උණ රෝගීන් මෙරටට ගෙන්වූ නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණ

අජිත් අලහකෝන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ බලධාරීන් දැනුවත් නොකර අප්‍රිකාවේ සිට කහ උණ වැළඳුණු රෝගීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වූ නිලධාරීන්ට එරෙහිව වහා පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස්‌ දී ඇත.

අප්‍රිකානු මහද්වීපයේ මේ දිනවල පැතිර යන මෙම මාරක කහ උණ රෝගය වැළඳුණු ශ්‍රී ලාංකිකයන් පිරිස්‌ මෙරට ගුවන් තොටුපළෙන් පිටව ගොස්‌ ඇතැයිද ඔවුන් පිළිබඳ සොයාබලා අමාත්‍යාංශයට වාර්තා කරන ලෙසද සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇත.

අප්‍රිකානු සහ ඇමරිකානු මහද්වීපවල පැතිර යන මෙම දරුණු කහ උණ රෝගය ඩෙංගු මදුරුවා මගින් පැතිරෙන බවත් එය වැළඳුණු අය සියයට අනූවකට වඩා මියයන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

මිනිස්‌ ජාවාරම් ඔස්‌සේ ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී ලෙස අප්‍රිකානු මහද්වීපයට ගිය ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගෙන අප්‍රිකාවේ මෝගෝ නුවර සිර කඳවුරක රඳවා ඇතැයිද එහිදී මෙම ශ්‍රී ලාංකිකයන්ට කහ උණ වැළඳී ඇතැයිද අමාත්‍යාංශ නිලධාරියෙක්‌ කීවේය.

අමාත්‍යාංශය දැනුවත් නොකර මෙම රෝගීන් හිතුමතේ මෙරටට ගෙන්වා ඇත්තේ සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය විසින් බවද එම මධ්‍යස්‌ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකුද නියෝජනය කරන බවත් ඉහත ප්‍රකාශකයා කීවේය.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළේ සෞඛ්‍ය ඒකකයක්‌ ස්‌ථාපිත කර තිබියදී මෙවැනි අවදානම් සහිත රෝගීන් ගුවන්තොටුපළෙන් පිටව යැම පිළිබඳ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඇමැතිවරයා නියම කර ඇතැයිද කී ඉහත ප්‍රකාශකයා මෙම කහ උණ රෝගය සීග්‍රයෙන් පැතිර යන්නේ ඩෙංගු මදුරුවා මාර්ගයෙන් යෑයිද කීය.


http://www.divaina.com/2012/02/09/news06.html

No comments:

Post a Comment