Sunday, November 27, 2011

මේ අධිවේගී මාර්ග පද්ධතියේ ආරම්භය පමණි



අද විවෘත වූ අධිවේගී මාර්ගය මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය පමණක් නොවේ. රටේ ප්‍රධාන නගර එක්කරන අධිවේග මාර්ග පද්ධතියක ආරම්භක පියවර බව අප අමතක නොකළ යුතුය.


ඒ අනුව කොට්ටාව මාකුඹුර සිට මාතර ගොඩගම දක්වා ප්‍රථම අධිවේගය කිලෝ මීටර් 126ක් දුරට දැන් ඉදිවී තිබේ. එහි පළල මීටර් 22කි. අනෙක් අධිවේගී මාර්ගය කොළඹ වටරවුම් අධිවේගී මාර්ගයයි. එය ඉදිවන්නේ කිලෝ මීටර් 29.10ක් දුරටය. අදියර 3කින් ක්‍රියාත්මක මෙය මුලින්ම කොට්ටාව සිට කඩුවෙල දක්වා ඉදිවේ. ඊට පසු කඩුවෙල සිට කඩවත දක්වාත් අනතුරුව කඩවත සිට කෙරවලපිටිය දක්වාත් මේ මාර්ගය ඉදිවේ. ඒ සඳහා සම්පූර්ණ වියදම රුපියල් කෝටි 10000ක් පමණ වේ.


මෙම කොළඹ පිටත වටරවුම් මාර්ගයට කඩවතදී මහනුවර අධිවේගී මාර්ගය ද, කෙරවලපිටියේදී කටුනායක අධිවේග මාර්ගය ද කොට්ටාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගය ද සම්බන්ධ වේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කිලෝමීටර් 28ක් දිග අතර කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය කිලෝමීටර් 98.9ක් දිගය. එය කඩවත සිට අඹේපුස්ස දක්වා ද කිලෝමීටර් 48.2 ක් දුරින් ද අඹේපුස්ස සිට කටුගස්තොට දක්වා කිලෝමීටර් 50.7ක් දිගින් ද ඉදිවීමට සැලසුම් කර ඇත.


මීට අමතරව කොළඹ අනුරාධපුරය අධිවේගී මාර්ගය ද යෝජනා කර තිබේ. දැනට ඉදිවන වාරියපොළ අනුරාධපුර නව මාර්ගයට සම්බන්ධව මෙය ඉදිකිරීමට යෝජිතය.


දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන අද ඒ පිළිබඳව තව යමක් කථා කළ යුතුමය.


මේ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරන මොහොතේ එය පිළිබඳව වඩාත් අවධානය යොමු කළ අපට, අතීතය තවම මතකය. එදා සමහර අය අධිවේගය අපට එපා යැයි කිවූහ. ඒ අධිවේගය නිසා තම ඉඩකඩම් අහිමිවන අනතුරක් තිබූ බැවිනි. ඒත් ඒ අය තම ඉඩම්වලට වන්දි ලැබුණු පසු අද සැප විඳිති. 1980 දී රුපියල් 5000ට මිලදී ගත් ඉඩම් අක්කරයට 2005 දී රුපියල් ලක්ෂ 25 –30 වන්දි ලැබුණු අවස්ථා තිබිණි. අධිවේගයේ එක් පිවිසුමක් පිහිටි කහතුඩුවේ එක් සුළු ව්‍යාපාරිකයකුට අක්කර 1/4ක ඉඩමට හා නිවෙසට රුපියල් කෝටියක පමණ වන්දියක් ද ලැබුණි. අද ඔහු මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි. තට්ටු දෙකක නව නිවෙසක් ද ඔහු සතුය.


පසුකාලයේ දී තම ඉඩම් ද අධිවේගයට ගන්න යැයි බලෙන් පැවසූ අයද සිටිති. ඒ අධිවේගයට ගත් ඉඩම්වලට විශාල වන්දියක් ලබාදුන් බැවිනි. අධිවේගය නිසා ඒ ඉඩම් දුන් අයගේ මල්ල සරුවී ඇතුවා මෙන්ම පිවිසුම් මාර්ග ඇති ස්ථාන 8 අවට ඉඩම් මිල ද ඉහළ නැංවී තිබේ. උදාහරණයක් ලෙස කහතුඩුවේ 120 මාර්ගය අසල 2005 දී පර්චස් එකක් විකුණුනේ රුපියල් 75000ටය. නමුත් දැන් එහි පර්චස් එකක් රුපියල් ලක්ෂ 2.5 – 3.5ත් අතර ඉහළ ගොස් ඇත.


මෙය සෑම පිවිසුම් මාර්ගයක් ඇති ස්ථානයකටම පොදුය. මේ අනුව අධිවේගී මාර්ගය නිසා මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගයට සම්බන්ධ සියලු ප්‍රදේශවලත් විශේෂයෙන් අධිවේගී පිවිසුම් මාර්ග ඇති අලුත් උප නගරවලත් විශාල ආර්ථික හා සාමාජයීය සංවර්ධනයක් සිදුවී තිබේ. මාකුඹුර, කහතුඩුව, ගැලනිගම, දොඩන්ගොඩ, වැලිපැන්න (ලෙව්වන්දූව) කුරුඳුගහහැතැප්ම, බද්දේගම (නයාපාමුල) හා පින්නදූව (ගාල්ල පිවිසුම) යන ප්‍රදේශවල අද උප නගර බිහිවෙමින් තිබේ.


මා පදිංචි කහතුඩුව ප්‍රදේශයට මීට වසර පහකට පෙර පැමිණි අයෙක් අලුතින් ආවොත් අන්දුන් කුන්දුන් වෙනු ඇත. ඒ නව අධිවේගී මාර්ගය හා නව පිවිසුම් මාර්ග නිසාය. කහතුඩුවේ වසර 100 ක් පමණ තිස්සේ බලපෑ ජල ගැලීම්වලට ද අධිවේගය නිසා කදිම විසඳුමක් ලැබී ඇත.


කහතුඩුවේ ජල ගැලීම් අවම කිරීමට අධිවේග පිවිසුම අවට ඇළ මාර්ග ගැඹුරු කිරීමට රුපියල් ලක්ෂ 500 ක් පමණ වැය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ. එහි ප්‍රතිඵල කහතුඩුව ගම්වාසීන්ට පමණක් නොව 120 කොළඹ හොරණ මාර්ගය පාවිච්චි කරන සැමටම ලැබී ඇත. ඒ කහතුඩුවේ ජල ගැලීම් නිසා ඒ මාර්ගයේ ගමනාගමනය ද අපහසු වන බැවිනි.


කුරුඳුගහ හැතැප්ම පින්නදූව යන ප්‍රදේශවල නව ඉන්ධන හල් නව හෝටල් ආදිය ඉදිවෙමින් පවතී. මාර්ගය පාවිච්චි වීම වැඩිවන විට ඒ අවට පිවිසුම්වල තවත් නාගරික මධ්‍යස්ථාන, වෙළෙඳ මධ්‍යස්ථාන හා බස් නැවතුම් පොළවල්, වාහන නැවතුම් පළවල් ඉදිකිරීමට කටයුතු කෙරේ.


මීට අමතරව දකුණේ නිපැයුම් (මාළු - මීකිරි) ආදිය ඉක්මනින් බස්නාහිර නිරිතදිග ප්‍රදේශවලට ගෙන ඒමටත් රටේ වාණිජ අග නගරය වූ කොළඹින් දකුණු පළාතට අත්‍යාවශ්‍ය විවිධ දේ දකුණට ගෙන යාමටත් මේ අධිවේගය මඟින් අවස්ථාව සැලැසේ.


මේ අනුව මේ දක්ෂිණ අධිවේඟි මාර්ගය, මාර්ගයේ යන එන අයට පමණක් නොව එහි පිවිසුම් මාර්ග අවට පදිංචි ජනතාවට ද ඉමහත් සෙතකි. පිවිසුම් මාර්ගවලට අදාළ මංසන්ධිවල ඉදිකරන පුංචි වෙළෙඳ සල් මඟින් ඒ ඒ ප්‍රදේශවල නිපැයුම් අලෙවි කර ගැනීමට ද අවස්ථාව සැලැසේ. ඒ සමඟම අධිවේගයට ආසන්නයේ ඉදිවීමට නියමිත නව විවේක ස්ථානවලදී ද මේ අලෙවි පහසුකම් ජනතාවට ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.


මේ අධිවේගය ඉදිකිරීමේ මුල් කාලයේදී සමහර විරුද්ධ පක්ෂ සමහර රාජ්‍ය නොවන පරිසර සංවිධාන මොනතරම් අකුල් හෙළූ නමුත් අද ඒ අයත් මේ අධිවේගයේම ඉක්මනින් දකුණට යති - එති. එය සතුටකි.


දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන්ධන ද මිනිස් ශ්‍රමය ද පිරිමසියි. මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන පරිදි කොළඹ සිට ගාල්ලට සාමාන්‍ය මාර්ගයෙන් යාමට පැය 3 ක් ගත වේ. අධිවේගී මාර්ගයෙන් එසේ යෑමට වැය වන්නේ පැයක් පමණි. එමෙන්ම මෙම මාර්ගයේ යන විට ඉන්ධන වියදම ද සියයට 65 කින් අඩු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.


මෝටර් රථයකට කොට්ටාවේ සිට ගාල්ලට යාමට රුපියල් 400 ක් වැය කළත් ගැස්සීම් නැතිව ඉක්මනින් වාහනයත් සුරක්ෂිත කරගෙන ඒ ගමන යාමට අවස්ථාව සැලසීම කොතරම් අගනේ ද?


ඒ සමඟම මෙම ප්‍රධාන අධිවේගී මාර්ගවලට අමතරව මෙරට ප්‍රධාන මාර්ග හා පළාත් මාර්ග කිලෝමීටර් 2500 ක් පමණ කාපට් අතුරා සංවර්ධනය කිරීමට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඊට අමතරව මඟ නැඟුම, ගම නැඟුම, ජාතික සවිය හා විමධ්‍යගත අයවැය යටතේ රටේ සියලු පළාත්වල ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 9000 ක් පමණ කොන්ක්‍රීට් දමා සකස්කර තිබේ. උතුරු නැඟෙනහිර පමණක් මහ පාලම් 15 ක් ඉදිකර විවෘත කර ඇත. මාර්ග කිලෝමීටර් 1600 ක් පමණ කාපට් අතුරා සංවර්ධනය කර තිබේ.


මේ අනුව මහින්ද චින්තනය යටතේ මෙරට මාර්ග සංවර්ධන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කර තිබේ. එය මෙරට ඉතිහාසයේ කිසිම දිනක කර ඇති මාර්ග සංවර්ධන විප්ලවයක් නොවේ. මහින්ද චින්තනය නිසාම ඇතිවූ සැබෑ ජනහිතකාමී විප්ලවයකි. රටේ සියලු ජනතාවට ඉක්මනින් පහසුවෙන් තම ගමනාගමන කටයුතු ඉටුකර ගැනීමට ලැබුණු දායාදයකි.





මේ නව අධිවේගී මංමාවත් දිගේ යමින් රට තවදුරටත් අධිවේගයෙන් සංවර්ධනය කිරීමට සැවොම එක්විය යුතු කාලය දැන් එළඹ ඇත.


නිහාල් පී. අබේසිංහ

http://www.silumina.lk/2011/11/27/_art.asp?fn=af11112711

No comments:

Post a Comment