Friday, April 20, 2012

ප්‍රවේශම් වන්න ගතවූ දින 45ට අකුණු අනතුරු මරණ දහයයි

අතුරලියේ ඊයේ මරණ තුනක්‌

තුෂාරී කළුබෝවිල, අකිත පෙරේරා, අකුරැස්‌ස - සමන් උපුල් පිණිදිය

පවතින ගිඟුරුම් සහිත වර්ෂාවත් සමඟ ඇතිවුණු අකුණු සර වැදීමෙන් අකුරැස්‌ස අතුරලිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු ඊයේ (18 වැනිදා) සවස ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟම ගතවූ දින 45 කාලය තුළ අකුණු සර වැදීමෙන් පුද්ගලයන් දසදෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

අකුරැස්‌සේදී ඊයේ සිදුවූ අකුණු සර හේතුවෙන් මියගොස්‌ ඇත්තේ අතුරලියේ පදිංචි ආර්. පී. ධම්මික (28) නමැති තිදරු පියෙකු, හෑඕවිට පදිංචි එච්. ජී. කරුණාවතී (55) නමැත්තියක සහ ඩී. එල්. පුෂ්පා (29) නමැති දෙදරු මවකි.

ජීවිතක්‍ෂයට පත් ධම්මික මහතා කුඹුරේ වැඩකරමින් සිටින අතරතුරදී අකුණු සරට ගොදුරුවී ඇති අතර අනෙක්‌ කාන්තාවන් දෙදෙනා තේ දළු නෙළමින් සිටියදී ඇතිවූ වර්ෂාවෙන් බේරීමට අසල වූ මඩුවක සිටියදී අකුණු සර වැදීමට ලක්‌ව තිබේ.

ඊයේ සවස 3.00 - 5.00 ත් යන කාලය තුළ ඇතිවූ මෙම අකුණුසර වැදීමෙන් මියගිය එම තිදෙනාගේ දේහයන් අකුරැස්‌ස රෝහලේ තබා ඇත.

මේ දිනවල පවතින අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම නිසා මතුව ඇති ගිඟුරුම් සහිත වර්ෂාව ලබන මැයි මස මුල් සතිය වනතුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණකුලසූරිය මහත්මිය "දිවයින" ට ඊයේ 18 වැනිදා පැවැසුවාය.

එබැවින් මෙම කාලය තුළ අකුණු සර බහුලව ඇතිවනු ඇතැයි සඳහන් කළ ඇය සැලකිලිමත්ව සිටීමෙන් අකුණු සර අනතුරුවලින් අරක්‍ෂා විය හැකි බවද සඳහන් කළාය.

විද්යුත් උපකරණ භාවිතයෙන් වැළකීම, එළිමහන් ස්‌ථානවල, විශාල ගස්‌ යට සිටීමෙන් වැලකීම, විවෘත වාහනවල ගමන් කිරීමෙන් වැළකී සිටීම වැනි කාරණා පිළිබඳව සැලකිල්ලට ගතහොත් අකුණු සර අනතුරුවලින් ආරක්‍ෂා විය හැකි බවද ඇය කියා සිටියාය.

මේ අතර වායුගෝලයේ තවදුරටත් පැවතිය හැකි කැළඹිලි ස්‌වභාවය හේතුවෙන් අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

විශේෂයෙන්ම බස්‌නාහිර, දකුණ, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු පළාත්වල අකුණු අවදානම බහුලව සිදුවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වර්ෂයේ (2012) ආරම්භයේ සිට මේ දක්‌වා ඇතිවූ අකුණු සර හේතුවෙන් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස්‌ ඇත.


http://www.divaina.com/2012/04/19/news23.html

No comments:

Post a Comment