Friday, April 20, 2012

කෘමි සතුන් ළඟ තබාගත් නෙදර්ලන්ත ජාතිකයා රිමාන්ඩ්

රත්නපුර විශේෂ - තිලකසිරි දෑලබන්ඩාර

ආරක්‌ෂිත උරග සතෙකු වූ හූනෙකු සහ කොඳු ඇට පෙළ රහිත ආරක්‌ෂිත කෘමි සතුන් සන්තකයේ තබාගෙන ලෝක උරුම සිංහරාජ වන පිවිසුම අසල සැරිසැරූ නෙදර්ලන්ත ජාතිකයෙකු රිමාන්ඩ් භාරයේ තබා නැවත කැඳවන ලදුව අප්‍රේල් 25 දින තෙක්‌ නැවත රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහෙස්‌ත්‍රාත් ශාතිමා විඡේබණ්‌ඩාර මහත්මිය 16 දා නියෝග කළාය.

සැකකරු විජහන්ඩ් රොලෝෂ් බැරන්ඩ් නමැත්තෙකි. මොහු මරන ලද සහ පණ ඇති කෘමි සතුන් සහිත බෝතල් ගණනාවක්‌ සහ සතුන් ඇල්ලීමේ උපකරණ සහ සතුන් කල් තබා ගැනීමේ මද්‍යසාර ආදී විවිධ උපකරණ සන්තකයේ තබාගෙන සිංහරාජ වනය තුළ තිබියදි ඉකුත් අප්‍රේල් 11 වැනි දින සිංහරාජ අඩවියේ ආරක්‌ෂක බී. එස්‌. සුමනරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අප්‍රේල් 12 වන දින සැකකරු රත්නපුර වැඩබලන මහෙස්‌ත්‍රාත් විජය තේන්නකෝන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 16 වැනි දින තෙක්‌ රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සඳහනක්‌ කළ සිංහරාජ අඩවියේ ආරක්‌ෂක බී. එස්‌. සුමනරත්න මහතා සැකකරු ව්‍යාපාරයක්‌ ලෙසට කෘමි සතුන් අල්ලා විදේශ රටවල අලෙවි කරන්නෙකු ලෙසට සැකකරන බව ද තමා රාත්‍රි පහන් ආලෝකයට එක්‌රැස්‌ වන කෘමි සතුන් අල්ලා උන් පසුදා ස්‌වභාවික හිරු එළියේ තබාගෙන ඡායාරූප ගතකර උන් මුදා හරින බව සැකකරු පැවසුවද ඔහුගේ බහාලුම් තුල මියගිය කෘමි සතුන් රාශියක්‌ද පණ ඇති හූනෙකු වන්දෙකු සහ හැකරැල්ලෙකු තබාගෙන සිටි බව ද පැවැසීය.

සැකකරු වෙනුවෙන් නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනි සිටි අතර ඔවුන් පැවසුවේ ඔහු ඡායාරූප ශිල්පියකු මිස ව්‍යාපාරිකයෙකු නොවන බවය.

සැකකරු සන්තකයේ තිබූ කුඩා ප්ලාස්‌ටික්‌ සහ වීදුරු බෝතල් 200 ක්‌ කෘමීන් අල්ලත ගැටිති සහිත දැලක්‌ මද්‍යසාර බෝතල් 2 ක්‌, එන්නත් කටු 16 ක්‌, සිරින්ජර් 16 ක්‌ පණ ඇති හැකරැල්ලෙකු සහිත ඉරි බෑග් එකක්‌ වීදුරි පරීක්‍ෂණ නළ 2 ක්‌ මිය ගිය කෘමි සතුන් දමන ලද බහාලුම් 4 ක්‌ අඩවි ආරක්‌ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබූ පණ ඇති සහ මියගිය කෘමි සතුන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයාට යවා වාර්තාවක්‌ ලබා ගැනීමටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමටත් මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය. එසේම සැකකරුගේ විදේශ ගතවීම අධිකරණය නැවත දන්වනතුරු වළක්‌වන ලෙසට ආගමන සහ විගමන පාලකවරයාටත් ගුවන්තොටුපල පොලිසියටත් දන්වා යවන ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

තවද සැකකරු අප්‍රේල් 25 වැනි දින කලවාන සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් එදින ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කරන ලෙසටත් මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.


http://www.divaina.com/2012/04/19/news21.html

No comments:

Post a Comment