Friday, April 20, 2012

චිත්‍රපට හා ගීත ව්‍යාජ ලෙස පිටපත් කරන සහ අලෙවි කරන මධ්‍යස්‌ථාන වැටලීමට මෙහෙයුම්

හේමන්ත රන්දුණු

ජනප්‍රිය චිත්‍රපට සහ ගී තැටි ව්‍යාජ ලෙස මුද්‍රණය කරන මධ්‍යස්‌ථාන සහ ඒවා අලෙවි කරන ස්‌ථාන වැටලීමේ පුළුල් මෙහෙයුම් පෙරේදා (17 වැනිදා) සිට කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ආරම්භ කර ඇත. බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.

ඒ අනුව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට, පොලිස්‌ පරීක්‍ෂක කුලරත්න ඇතුළු නිලධාරීන් පෙරේදා (17දා) කළ වැටලීමකදී ව්‍යාජ සී. ඩී. තැටි මහා පරිමාණයෙන් මුද්‍රණය කරන මධ්‍යස්‌ථානයක්‌ සහ ඒවා අලෙවි කරන මධ්‍යස්‌ථාන දෙකක්‌ අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙම ජාවාරමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ සැකකරුවන් තිදෙනකු සහ ඔවුන් ව්‍යාජ ලෙස මුද්‍රණය කරනු ලැබූ සිංහල චිත්‍රපට ගීත තැටි ඇතුළු තවත් චිත්‍රපට රැසක්‌ අඩංගු සීඩී තැටි තොගයක්‌ද අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්‌ඨාසය කටයුතු කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කර ඇත.

ව්‍යාජ ලෙස චිත්‍රපට සහ ගී තැටි නිෂ්පාදනය කිරීම නිසා එම චිත්‍රපට නිෂ්පාදන ආයතනවලට විශාල අසාධාරණයක්‌ සිදු වී තිබෙනවා. මේ හේතුව නිසා එම ජාවාරම්කරුවන් මර්දනය කිරීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග දිගින් දිගටම ගන්නවා යි බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා කියා සිටියේය.

ව්‍යාජ සී. ඩී. තැටි නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත් කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර මහතාගේ 011-2662323 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


http://www.divaina.com/2012/04/19/news06.html

No comments:

Post a Comment