Friday, April 20, 2012

ලොතරැයි මණ්‌ඩලය වාර්තාගත පිරිවැටුමක්‌ ලබයි

ප්‍රභාත් විතාන

ජාතික ලොතරැයි මණ්‌ඩලය මෙම වසරේ මුල් කාර්තුව අවසන්වීමට ප්‍රථම ලොතරැයි ඉතිහාසයේ වැඩිම ලොතරැයි පත් සංඛ්‍යාවක්‌ අලෙවි කරමින් වාර්තාගත පිරිවැටුමක්‌ ලබා ඇතැයි එහි සාමාන්‍යා ධිකාරි එම්. එස්‌. කරුණාරත්න මහතා පැවසීය.

මෙම වසරේ ඉකුත් මාස 3 කුත් දින 11 ක්‌ ඇතුළත ලොතරැයි පත් මිලියන 178 කට අධික ප්‍රමාණයක්‌ අලෙවි කර එමගින් රුපියල් මිලියන 3447 ක වාර්තාගත පිරිවැටුමක්‌ උපයා ගැනීමට හැකිවී තිබේ.

ලොතරැයි පත් අලෙවියේ සීඝ්‍ර වර්ධනයත් සමග ඉතා කෙටි කාලයක්‌ තුළ මෙවැනි වාර්තාගත පිරිවැටුමක්‌ ලබා ගැනීමට සමත්වීම ජාතික ලොතරැයි මණ්‌ඩලය ලැබූ ජයග්‍රහණයක්‌ බවත් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

එම කෙටි කාලය තුළ සුපිරි ත්‍යාග ලාභීන් 12 ක්‌, රුපියල් ලක්‍ෂ 50 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි මෝටර් රථ දිනා ගත් ජයග්‍රාහකයන් තිදෙනකු, රුපියල් ලක්‍ෂ 20 බැගින් ප්‍රථම ත්‍යාග ලාභීන් 76 දෙනකු, රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ජයග්‍රාහකයන් 67 දෙනකු සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ ජයග්‍රාහකයක්‌ 892 ක්‌ බිහි කිරීමට ජාතික ලොතරැයි මණ්‌ඩලය සමත්වී ඇත. මෙයට අමතරව රුපියල් 20 සිට රුපියල් 50 දක්‌වා ත්‍යාගලාභීන් අතිවිශාල සංඛ්‍යාවක්‌ බිහිකර ඇත.

ඉතිහාසයේ එක්‌ දිනුම් වාරයකදී ලැබූ රුපියල් මිලියන 73 ක වැඩිම පිරිවැටුම මේ වසරේ ජනවාරි මාසයේදී ලැබීමද විශේෂත්වයක්‌ යෑයිද කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

රජයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමට ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපති චමින්ද අතළුවගේ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විසින් ඇති කරන ලද නව අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම මණ්‌ඩලයේ සේවකයන්ගේ කැපවීම, අභ්‍යන්තර ව්‍යqහාත්මක වෙනස්‌කම් සහ දිවයින පුරා අලෙවි ජාලය ප්‍රතිසංවර්ධනය කිරීම තුළින් මෙම වාර්තාගත අලෙවිය සහ පිරිවැටුම ඉතා කෙටි කාලයකින් ළඟාකර ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.

ඉදිරි වසර දෙකක කාලය තුළදී වයස අවු. 18 වැඩි ජනගහණයෙන් සියයට 15 කට ලොතරැයි පත් අලෙවි කිරීමේ ඉලක්‌කය මේ අනුව සම්පූර්ණ කර ගැනීමටද හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

මෙම වාර්තාගත අලෙවියට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ලොතරැයි පත් අලෙවියද බලපෑ අතර පසුගියදා මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් තුන්කෝටි අසූදෙලක්‍ෂය ඉක්‌මවූ සුපිරි ත්‍යාගයද යාපනය දිස්‌ත්‍රික්‌කයේ ජයග්‍රාහකයකුට හිමි වූහ.


http://www.divaina.com/2012/04/20/news07.html

No comments:

Post a Comment