Friday, April 20, 2012

ජංගම දුරකථනයෙන් මී මැස්සන්ට තර්ජන

සන්ධ්‍යා කරුණාරත්න

ජංගම දුරකථන අධික ලෙස භාවිතය මී මැස්සන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවන්ගෙන් හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට මී මැස්සන්ට ද එම තර්ජනය එල්ල වී ඇත්තේ ද යන්න සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර වෛද්‍ය විද්‍යානුකූල සමීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශයේ පාරිසරික ඒකකයට දැනුම් දී ඇත.

මී මැස්සන්ට අවශ්‍ය පැණි රැස් කර තමන්ගේ ජනපදයට පැමිණෙන්නේ ජනපදයේ සිටින සෙසු මී මැස්සන්ගේ තරංග ඔස්සේ බවත් ජංගම දුරකථන අධික ලෙස භාවිතය නිසා එම තරංග වෙනස් වී මී මැස්සන්ට යන එන මඟ සොයා ගැනීමට නොහැකිව ඔවුන් මරණයට පත් වන බවත් සමීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ගස්වල ඵල හටගැනීම සඳහා වන පරාගන කාර්ය මී මැස්සන් මඟින් සිදු කෙරෙන අතර මී මැස්සන්ගේ වඳ වීමක් සිදු වුවහොත් මිනිසුන්ගේ ආහාර පරිභෝජනයට බරපතළ තර්ජනයක් එල්ල වන බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

මී මැස්සන්ගේ වඳවීම ලෝකයේ සංවර්ධිත රටවල් මුහුණ දෙන බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවත් කාර්මික අංශය පැත්තෙන් දියුණු වී තිබෙන රටවල මුළුමණින්ම මී මැස්සන් වඳ වී ඇති බවත් හෙළි වී තිබේ.

ජංගම දුරකථන බහුලව භාවිතය නිසා මී මැස්සන්ගේ තරංගවලට බරපතළ තර්ජන එල්ල කරන බව බටහිර රටවල් කළ සමීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


http://www.dinamina.lk/2012/04/19/_art.asp?fn=n1204194

No comments:

Post a Comment