Friday, April 20, 2012

තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට එරෙහිව අපට බලපෑම් කළ නොහැක

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

සිරිමන්ත රත්නසේකර

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉදි කෙරෙන කූඩන් කුලම් න්‍යෂ්ටික විදුලි බලාගාරය හේතුවෙන් අප රටට යම් අවදානමක්‌ ඇති බවට පරිසර වේදීන් මත පළ කළද ඒ සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වීමක්‌ කළ නොහැකි බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.

වෙනත් රටක සිදු කරන යම් ව්‍යාපෘතියක්‌ පිළිබඳව අපට කතා කළ නොහැකි බව සඳහන් කළ පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා වර්තමානයේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ඉතාමත් ඉහළ තාක්‍ෂණයක්‌ උපයෝගි කර ගන්නා බැවින් අනතුරක්‌ සිදු වීමේ අවදානම ඉතා අවම බවද සඳහන් කළේය.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ඉදි කළේ එක්‌ දහස්‌ නමසිය හැත්තෑ ගණන්වල බව පැවැසූ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද තාක්‍ෂණය ඉතා ඉහළ බවත් පැවැසීය.

පරිසර හිතකාමීව බලශක්‌තිය ජනනය කර ගත හැකි හොඳම ක්‍රමයක්‌ ලෙස න්‍යෂ්ටික බලාගාර හැඳින්විය හැකි බවත් හෙතෙම පැවැසීය.

පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (18 වැනිදා) පරිසර අමාත්‍යාංශයේ සහ ඇමැතිවරයාගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවි දෙකක්‌ අන්තර්ජාලයට මුදාහැරීමේ අවස්‌ථාව බත්තරමුල්ලේ පිහිටි පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු වූ අවස්‌ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.


http://www.divaina.com/2012/04/19/news12.html

No comments:

Post a Comment