Friday, April 20, 2012

මාලබේ පෞද්ගලික රෝහල ගැන ආයතනය කරුණු පැහැදිලි කරයි

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ඉදිකෙරෙන රෝහල සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇතැයි දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය පවසයි.

එම ආයතනය මේ බව පවසන්නේ එම වෛද්‍ය විද්‍යාලයේ රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් "දිවයින" පුවත්පතේ පෙරේදා (18 වැනිදා) පළ වූ පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරමිනි.

ආයතන ලේකම් හේමන්ත තෙන්නකෝන් මහතා විසින් එවන ලද එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ මෙසේද සඳහන් වේ.

උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා විසින් අංක 1721/19-2011 අගෝස්‌තු 30 දින අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් නියෝග කර ඇත්තේ දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය (පුද්ගලික) සමාගම (SAෂඔඵ) උපාධි පිරිනැමීම සඳහා යම් යම් කොන්දේසිවලට යටත්ව පිළිගන්නා බවය. එම කොන්දේසි අතර SAෂඔඵ ආයතනය විසින් ඒ වන විටත් ලංකා බැංකුවෙන් ව්‍යාපාරික ණයක්‌ වශයෙන් අනුමත කර තිබූ රු. මිලියන 600 ට අදාළ පිරිනැමීමේ ලිපිය ඉදිරිපත් කිරීම එක්‌ කොන්දේසියක්‌ වේ. එසේ නොමැතිව ඔබ පුවත් පතේ සඳහන් කර ඇති පරිදි ලංකා බැංකුවෙන් රු. මිලියන 600 ක ණය මුදලක්‌ නිකුත් කිරීමට ගැසට්‌ නිවේදනය මගින් එකඟතාවක්‌ පළකර නොමැත.

රෝහලේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයෙන්ද අවසර ගැනීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පරමාණු බලශක්‌ති අධිකාරිය යන ආයතනවල අනුමැතිය දැනටමත් ලබාගෙන ඇත.

මීට අමතරව අප ආයතනයෙන් මෙම රටේ පොදු මහජනතාව උදෙසා පහත සඳහන් මහඟු සේවයන් ඉටුවන බවද සතුටින් මතක්‌ කර දෙමි.

ශ්‍රී ලාංකික දූ දරුවන්ට තම රට තුළම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබීම හා මෙම රටේ විදේශ විනිමය ගලායාම වළක්‌වා ගත හැකි වීම.

ශ්‍රී ලාංකික දූ දරුවන්ට විදේශ රටවල්වලදී මුහුණ පෑමට සිදුවන දේශගුණික සංකුලතා සංස්‌කෘතික සංකුලතා, භාෂා පිළිබඳ ගැටලු සහ බුද්ධි ගලනය ඇතුළු මුහුණ පෑමට සිදුවන අනෙකුත් අසීරුතාවලින් වැළකී සිටීමට හැකි වීම.

විදේශ දූ දරුවන් මෙම රට තුළට ඒම තුළින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගත හැකි වීම සහ එමනිසා රජයේ ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන කේන්ද්‍රස්‌ථානයක්‌ වශයෙන් ශ්‍රී ලංකාව දියුණු වීම.

ආර්ථික අපහසුතා ඇති දූ දුරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම.

මෙතෙක්‌ පැවති සාම්ප්‍රදායික ක්‍රමය වූ උගත් ආචාර්යවරුන් රට හැර යැම වැළකී අපගේ දූ දරුවන්ට ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට හැකිවීම එමගින් රටේ බුද්ධි ගලනය අවම වීම.

අඩු ආදායම්ලාභීන්ට නොමිලේ රෝහල් පහසුකම් ලබා දීම.

තවද රෝහලේ රසායනික සහ රෝගීන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා රු. මිලියන 6 ක වියදමින් ඒවා අධිතාක්‍ෂණිකව පුළුස්‌සා බැහැර කිරීමට යන්ත්‍රොaපකරණයන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද සතුටින් මතක්‌ කර දෙමි.

මේ අනුව නීති විරෝධීව කිසිදු ඉදිකිරීමක්‌ කර නොමැති බවත් යම් කෙනකුට මේ පිළිබඳව යම් සොයා බැලීමක්‌ කිරීමට අවශ්‍ය නම් අප ආයතනය ඊට සුහද ඇරයුමක්‌ කරමි.

පසු සටහන

අප විසින් පළකරන ලද පුවතට පාදක වූයේ එම රෝහල ඉදිකිරීම නීති විරෝධී බවට රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් පනස්‌දෙනකු විසින් පොලිස්‌පතිවරයාට කරන ලද පැමිණිල්ල සහ රෝහල ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ලබා නොමැති බවට එහි පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය කළ ප්‍රකාශය බව සඳහන් කරමු.


http://www.divaina.com/2012/04/20/news08.html

No comments:

Post a Comment