Friday, April 20, 2012

ලක්‍ෂයකට අධික ජනතාවට බීමට ජලය සපයන නුවරවැව අනතුරේ

නිමන් විජේසිංහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ

අනුරාධපුර නගරවාසීන් ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි ලක්‍ෂයකට අධික ජනගහනයකට පානීය ජලය සැපයෙන නුවරවැව ජලාශය මහ පරිමාණයෙන් අපවිත්‍රවීමේ අවදානමක් ඇතැයි නගරවාසීහු පවසති.

නුවරවැව ආශ්‍රීත නිවාස, සංචාරක හෝටල් ඇතුළු විවිධ ආයතන වලින් නුවරවැව ඉලක්ක කරගනිමින් මුදා හැරෙන අපවිත්‍ර ජලය කැළිකසළ හා සතුන්ගේ විශේෂයෙන් වැව්තාවුලේ නිරතුරුව ගැවසෙන ගවයින්ගේ මල මුත්‍ර වැව් ජලයට එකතුවීම නිසා මෙම ජල හා පරිසර දූෂණය සිදුවෙමින් පවතී.

පසුගිය මාස කීපයේ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම්වලදී මෙම බරපතළ ජල දූෂණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ වසන්ත පලුගස්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ද මහනගර සභාව, පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව යුද හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ සංචාරක හෝටල් නියෝජනය කරන නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ පරීක්‍ෂණ කමිටුවක්ද ගිය වසරේ මැද භාගයේදී පත්කරනු ලැබීය.

මෙම කමිටුව මගින් නුවරවැවේ ජල දූෂණය වලක්වාලීම සඳහා නිර්දේශ 12 කින් යුත් වාර්තාවක් අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හරහා අනුරාධපුර දිසා ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ද අනාවරණය වේ.

නුවර වැව අවට ඇති සංචාරක හෝටල් හා නිවාඩු නිකේතන ජාලයේ නීත්‍යානුකූලතාවය පරීක්‍ෂාකර බලා එම ආයතනවල අපවහන ජලයෙහි ප්‍රමිතිය පරීක්‍ෂා කර වාර්තා කිරීම පිණිස කමිටුවක් පත්කිරීමත්, නුවරවැව බැම්මට හා වැව් පිටියට වාහන ඇතුල් කිරීම තහනම් කිරීමට පියවර ගත යුතු බවත්, නුවරවැව පිටියෙ සැරිසරණ දහසකට ආසන්න ගවයින් සඳහා අයිතිකරුවන් ඉදිරිපත් නොවන්නේ නම් එම ගව රංචු වෙන්දේසියේ දැමීමට කටයුතු කිරීමත් මෙම වාර්තාවේ දක්වා ඇති නිර්දේශ කීපයකි.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කොට නොමැතිබව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්‍ෂ වසන්ත පලුගස්වැව මහතා ‘දිනමිණ’ මඟින් කළ විමසුමකදී පැවසීය.


http://www.dinamina.lk/2012/04/20/_art.asp?fn=n1204205

No comments:

Post a Comment