Monday, November 21, 2011

අනුරාධපුර රෝහලේ දී රුධිර පරීක්‌ෂාවට ගිය දරුවාට ජල භීතිකා එන්නතක්‌ විදලා ·

අනුරාධපුර විශේෂ - පර්සි කුරුණේරු

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකුගේ නිර්දේශයකට අනුව රුධිර පරීක්‌ෂා කිරීම සඳහා රුධිර සාම්පලයක්‌ ලබාගැනීමට සිය මව සමඟ එම රෝහලේ එන්නත් කාමරයට ගිය සය හැවිරිදි පිරිමි දරුවකුට රුධිරය සාම්පලයක්‌ ලබා ගැනීම වෙනුවට හෙද නිලධාරියකු විසින් ජල භීතිකා රෝගයට ලබාදෙන එන්නතක්‌ විදීමේ සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස දරුවාගේ මව වන අනුරාධපුර පොතානේගම පදිංචි රෝහිණී කුමාරි මහත්මිය රෝහලේ වැඩ බලන අධ්‍යක්‍ෂවරියගෙන් ඉල්ලීමක්‌ කොට ඇත.

සමුදිත සම්පත් නමැති දරුවකු මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

උණ රෝගයෙන් පෙළුණු තම දරුවාට ප්‍රතිකාර ලබාදීම සඳහා දරුවා සමඟ තමන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඉකුත් 10 වැනිදා ගිය බවත්, එහි බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකුගේ නිර්දේශයකට අනුව දරුවාගේ රුධිරය පරීක්‌ෂා කිරීමට රුධිර සාම්පලයක්‌ ලබා ගැනීමට රෝහලේ එන්නත් කාමරයට ගිය බවත් එහි සිටි හෙද නිලධාරියකු විසින් රුධිරය සාම්පලයක්‌ ලබා ගැනීම වෙනුවට දරුවාගේ අතකට එන්නතක්‌ විද්ද බවත් රෝහිණී කුමාරි මහත්මිය "දිවයින"ට පැවැසුවාය.

තම දරුවාගේ එක්‌ අතකට එන්නතක්‌ විදීමෙන් අනතුරුව අනෙක්‌ අතටද තවත් එන්නතක්‌ විඳීමට සූදානම් වූ අවස්‌ථාවේ තමන් ඊට ඉඩ නොදුන් බවත් අනතුරුව දරුවාගේ රුධිර සාම්පලයක්‌ රැගෙන එන ලෙසට නිර්දේශ කළ වෛද්‍යවරයාට මේ බව දැනුම් දුන් බවත් ඇය පවසන්නීය.

අනතුරුව වෛද්‍යවරයා එන්නත ලබා දුන් බව කියන හෙද නිලධාරියා කැඳවා මේ බව විමසූ අවස්‌ථාවේ වැරදීමකින් අදාළ එන්නත ලබාදුන් බව පවසා තිබේ.

එම අවස්‌ථාවේ හෙද නිලධාරියා විසින් දෙන ලද ප්‍රකාශය අනුව සිදුවූ වැරැද්ද පිළිබඳව බිය නොවන ලෙස තමාට පොරොන්දු වූවත් වැරදි එන්නතක්‌ ලබාදීම නිසා දරුවාට පසු කලකදී වෙනත් ආබාධයකට හෝ රෝගයකට ලක්‌වීමේ අවදානමක්‌ ඇති වේයෑයි බියක්‌ තමන් තුළ පවතින බවත් දරුවාගේ මව කීවාය.

දරුවාට වැරදීමකින් එන්නතක්‌ ලබා දුන් බවටත් ලබාදුන් එන්නත කවරේද යන්න සහ එන්නත ලබාදුන් හෙද නිලධාරියාගේ නම සඳහන් ප්‍රතිකාවක්‌ ලබාදෙන ලෙසටත් තමා කළ ඉල්ලීම වෛද්‍යවරයා සහ හෙද නිලධාරියා විසින් ප්‍රතික්‍ෂේප කර සිටීම නිසා ඒ බව රෝහලේ වැඩ බලන අධ්‍යක්‌ෂවරියට පසුව පැමිණිලි කළ බවද ඇය පැවැසුවාය.

මේ පිළිබඳව අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්‌ෂිකා ආර්.ඇම්. කරුණාරත්න මෙනවියගෙන් කළ විමසුමකදී පැවැසුවේ මේ වන විට ආයතනික මට්‌ටමින් පරීක්‌ෂණයක්‌ පවත්වන බවයි.


http://www.divaina.com/2011/11/21/news07.html

No comments:

Post a Comment