Tuesday, April 3, 2012

‘දුම්වැටි අනතුරු ඇඟවීම් නිර්දේශ තවම ක්‍රියාත්මක වී නෑ’

සන්ධ්‍යා කරුණාරත්න

දුම්වැටි ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ඇතුළත් කිරීම පිළිබඳ නීති කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති නිර්දේශ මේ වන තුරු ක්‍රියාත්මක කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය චෝදනා කරයි.

මේ සඳහා අවශ්‍ය නිර්දේශ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර වසර එක හමාරකට වැඩි කාලයක් ගත වන බවත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මේ වන තෙක් ඊට අඳාළ කෙටුම්පත් සකස් කිරීමට පියවර ගෙන නොමැති බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දුම්වැටි ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ඇතුළත් කිරීම ප්‍රමාද වී තිබෙන්නේ අඳාළ නීති කෙටුම්පත් සකස් කිරීමේ පවතින දෝෂ නිසා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ නීතිය ස්ථාපිත කිරීම ඉක්මන් කරන ලෙස ඉල්ලා පිළිකා සරණ සංගමයේ සභාපති වෛද්‍ය සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතා හා ජීවක පදනමේ සභාපතිනිය මංජරී පීරිස් මහත්මිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පවසා ඇත.

දුම්වැටි ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ඇතුළත් කිරීම පිළිබඳ අඳාළ නීති කෙටුම්පත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් එය ක්‍රියාත්මක කිරීමට වහාම පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවැසුවේය. වසර 2005 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඉදිරිපත් කළ දුම්කොළ පාලන ජාත්‍යන්තර ගිවිසුමට අස්සන් කළ ආසියාවේ පළමුවැනි රට ශ්‍රී ලංකාව වේ. එම ගිවිසුමට අනුව 2008 වසර වන විට දුම්වැටි ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් පළ කළ යුතු ය. එහෙත් මේ වන තෙක් එය ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. සිංගප්පූරුව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව යන රටවල මේ නීතිය ක්‍රියාත්මක කරන අතර මෙමඟින් බොහෝ පුද්ගලයන් පිරිසකගේ දුම්පානය නතර වී තිබෙන බව ද සමීක්ෂණවලින් වාර්තා වී ඇත.


http://www.dinamina.lk/2012/04/03/_art.asp?fn=n12040311

No comments:

Post a Comment