Monday, April 9, 2012

විදුලි බල සේවකයෝ 11 වැනිදා ලෙඩ වෙති

ශිරාන් රණසිංහ

ලංකා විදුලිබල මණ්‌ඩලයේ පහළොස්‌ දහසකට ආසන්න සේවකයන්ගේ වැටුප සියයට විසිපහකින් වැඩි කරන ලෙස ඉල්ලා 11 වැනිදා අනිවාර්යයෙන්ම ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා "දිවයින"ට ඊයේ (08 දා) පැවැසීය.

පසුගියදා විදුලි සේවක වැටුප් සියයට විසිපහකින් වැඩි කළ බවද විධායක නිලධාරීන්ට පමණක්‌ යළි වැටුප් වැඩිකිරීම අසාධාරණ බවද ඔහු කීවේය.

මෙදින විදුලි බිඳවැටීම් සිදුවුවහොත් ඒවා යථාතත්ත්වයට පත් කිරීම සඳහා සෑහෙන වේලාවක්‌ ගතවීමට ඉඩ ඇති බවත් එහි වගකීම රජය භාරගත යුතු බවත් හෙතෙම කියා සිටියේය.

විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු විධායක ශේ්‍රණිවලට වැටුප් වැඩි කර සෙසු සේවකයන් නොසලකා හැරි රජය විදුලිබල මණ්‌ඩල සේවකයන් අතර අනවශ්‍ය ප්‍රශ්නයක්‌ ඇති කර ඇතැයිද ඔහු කීවේය.

පරණ අවුරුදු දිනය උදාවෙද්දී ලක්‍ෂ හතළිහක්‌ වන විදුලි පාරිභෝගිකයන් අඳුරේ තබා අසීරුතාවට පත් කිරීමට කිසිම අවශ්‍යතාවක්‌ තම වෘත්තීය සමිතියට නැතැයිද ජයලාල් මහතා පැවැසීය. නමුත් විදුලිබල මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට සියයට 48.78 ක වැටුප් වැඩිවීමක්‌ද, අතිරේක සාමාන්‍යාධිකාරිවරයකුට සියයට 50.58 ක්‌ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකුට සියයට 48 ක්‌ද, ගණකාධිකාරිවරයකුට සියයට 45 ක්‌ද ආදී වශයෙන් යළි වැටුප් වැඩිවීමක්‌ කරමින් පහළොස්‌ දහසක්‌ වන සේවකයන්ට කර ඇති අසාධාරණයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇතැයිද ඒ මහතා කීවේය.

ලබන 18 වැනිදා යළි රැස්‌වී වරුවක වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට දින නියම කරන බවද ඉන් පසුව අඛණ්‌ඩව වැඩවර්ජනයකට යන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/04/09/news06.html

No comments:

Post a Comment