Wednesday, April 4, 2012

මන්නාරම සහල් නැළියෙන් මෙට්‍රික් ටොන් 50,000ක වාර්තාගත අස්වැන්නක්

විජයානි එදිරිසිංහ

වසර තිහක කාලයක් පුරා කොටි සංවිධානයේ පෝෂණයට සහ බංකර් සඳහා යොදාගත් මන්නාරම ‘සහල් නැළිය’ කෙත් යායෙන් මෙවර වී මෙට්‍රික් ටොන් පනස් දහස ඉක්මවා යන අස්වැන්නක් ලැබෙමින් පවතී.

මන්නාරම දිසාපති සරත් රවීන්ද්‍ර මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේ මෙවැනි සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා රජයෙන් ගොවියාට ලබාදෙන පොහොර සහනාධාරය බෙහෙවින් ඉවහල් වූ බවය.

වසර තිහක් තිස්සේ කොටි සංවිධානය සහල් නැළියේ කෙත් යාය අහිංසක ද්‍රවිඩ ගොවියන් ලවා ගොවිතැන් කරවාගෙන එහි ආදායම කොටි නායකයන්ගේ පෝෂණයට යොදාගෙන ඉතිරි කොටස බංකර්වල ආරක්ෂාවට ගෝනිකර යොදා ගැනිණි.

ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු මෙහි වගා කටයුතු යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ ද්‍රවිඩ ජනතාව වෙත සෘජුණම ලබාදුණි. එහි ආදායමද ද්‍රවිඩ ජනතාවට ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබේ.

මන්නාරම සහල් නැළිය ඓතිහාසික කෙත් යාය අක්කර දහස් ගණනකින් සමන්විත වෙයි. වර්ග කිලෝමීටර් සිය ගණනක් ඈතට පැතිරී තිබේ. යෝධ වැවෙන් පෝෂණය වන එම කෙත් යාය වටා කුඩා වැව් සිය ගණනක් ඇත.

වර්තමාන රජය මගින් එම වැව් සියල්ලක්ම පිළිසකර කර ඇති නිසා වගාවට අවශ්‍ය ජලයද අඩුවක් නොමැතිව ලැබෙන බව දිසාපතිවරයා පවසයි. මෙවර අස්වැන්න ඉහළ යාමත් සමඟම ද්‍රවිඩ ගොවි ජනතාවට විශාල ආදායමක් ලැබී තිබේ.

වී අලෙවි මණ්ඩලය, සමුපකාර සමිති, ගොවිජන සේවා ආයතන පමණක් නොව පෞද්ගලික ව්‍යාපාරිකයන්ද මන්නාරම් සහල් නැළියේ වී මිලදී ගැනීම් විශාල වශයෙන් සිදුකරන බවද දිසාපති සරත් රවින්ද්‍ර මහතා පවසයි. එසේ මිලදී ගන්නා වී තොග මන්නාරමේදී සහල් බවට පත්කිරීම එහි ඇති රජයේ මෝල්වලින් සිදුකරගෙන යයි.

http://www.dinamina.lk/2012/04/04/_art.asp?fn=n1204049

No comments:

Post a Comment