Monday, April 2, 2012

ආරචිච්කට්ටුව ආනවිලුන්දාව කුරුලු අභය භූමියේ දැව ජාවාරමක්

වැව හාරා වැලි ගොඩ දැමීමත් ජයටම

මුන්නේශ්වරම සමූහ – ඊ. සී. ප්‍රනාන්දු

ජත්‍යන්තර තෙත් කලාපයට අයත් ආරච්චිකට්ටුව කුරුලු අභය භූමියට නීතිවිරෝධී ලෙසින් පිවිස එහි ඇති ඉතා පැරැණි කුඹුක්, මාර හා කොහොඹ වෘක්ෂයන් කපා ගෙන යාම හා මේ දිනවල සිඳී ගිය වැව් හාරා වැලි ගෙන යාම නිසා එම කුරුලු අභය භූමියේ පැවැත්මට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ඈත අතීතයේ පටන් යුරෝපා රටවලට බලපාන ශීත කාලවලදී එම රටවල ජීවත්වන දහස් සංඛ්‍යාත පක්ෂීන් මෙම අභය භූමියට පැමිණ මාස තුනක පමණ කාලයක් මෙම වැව් ආශ්‍රිත තෙත් බිම් කලාපය තුළ ජීවත් වී යළි තම නිජබිම කරා යනු ලබන බවත් කියති.




සිඳී ගිය වැවකි



ගොඩ දැමූ වැලි ගොඩ ගසා ඇති අයුරු



අත්අඩංගුවට ගත් කුඹුක් කඳන් තොගයක්

මේ තෙත් බිම 2001 දී අභය භූමියක් ලෙස පත්කර තිබේ.

ඒ අනුව මෙම භූමියෙහි වාසය කරන වන සතුන් පක්ෂීන් ඇල්ලීම දඩයම් කිරීම හා බිත්තර හෝ කුඩු එකතු කිරීම ගස් කැපීම, වැලි ඉවත් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් ප්‍රකාශ කර ඇත. මෙම බිමේ ආරක්ෂාව පිණිස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප කාර්යාලයක්ද මේ බිමෙහි පිහිටා ඇත.

මරියාව - ආනවිලුන්දාව සුරුවිල යන වැව් මෙම අභය භූමිය තුළ පිහිටා ඇත. සෙංගල් ඔය ව්‍යාපෘතිය යටතේ ඒවාට අවශ්‍ය ජලය ලැබී තිබුණි. මේ නිසා විවිධ පක්ෂීන් පැමිණ ප්‍රදේශය පුරා සුවිශේෂ පාරිසරික ලක්ෂණයක් පෙන්නුම් කරති. පුත්තලම දිසාවට මෙන්ම මුළු රටම මෙම අභය භූමිය ජාතික සම්පතක් වී ඇති බවත් කියති.

මෙවන් තත්ත්වයක් තුළ මේ දිනවල බලපාන උග්‍ර නියගය නිසා ආනවිලුන්දාව කුරුලු අභය භූමියේ ජලයද සිඳී ගොස් ඇත. මේ නිසා ගත වූ වසරක පමණ කාලයක සිට මෙම භූමියට සංචාරක පක්ෂීන්ගේ සම්ප්‍රාප්තියත් නිසි ලෙසින් සිදුවී නැති බවත් කියති.

මේ අතර මෙම අභය භූමියේ ජලය සිඳී ගිය වැව් වල ඇති වසර 100 ට වඩා වැඩි කුඹුක් ගස් රැසක් කපා ඉවත් කරගෙන ගොස් ඇති බව දැක හැකිවිය. ඊට අමතරව කොහොඹ මෙන්ම මාරා ගස් ද කපා ඉවත් කරගෙන ගොස් ඇත. මෙම ගස් කැපීම් කර ඇත්තේ යන්ත්‍රානුසාරයෙනි. තමන්ට දර කැබැල්ලක් කඩා ගැනීමට අවසර නැති වූවත් සංවිධානය වූ පිරිසක් මෙම අභය භූමියට ඇතුළු වී යෝධ ගස් කපා ගෙන යාමට හැකිවීම අබිරහසක් බවත් කියති.

ඊට අමතරව ජලය සිඳී ගිය වැව් පතුල හාරා වැලි ඉවත් කරන බවත් දැක ගත හැකිවේ. මේ අතර මේ කුරුලු අභය භූමියෙන් නීති විරෝධීව කපාගෙන ගොස් නල්ලදරන් කට්ටුව හැළඹටවක ප්‍රදේශයේ නීතිවිරෝධී වඩු පට්ටලයකින් ඉරා ගැනීමට දී තිබූ යෝධ කුඹුක් කඳන් කිහිපයක් ජංගම ඉරුම් යන්ත්‍රයක් ද සැකකරුවන් දෙදෙනකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ වනවිටත් එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවෙහි නඩුවක්ද පවරා ඇත.

ආතවිලුන්දාව කුරුලු අභය භූමියේ පිහිටි වනජීවි සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියකුගෙන් මෙම අභය භූමියට හානිකරන ක්‍රියාවක් ගැන විමසීමේදී අභය භූමිය තුළ එවැන්නක් සිදුනොවන අතර දිරාපත් කුඹුක් ගසක් කපා ඉවත් කරන බවට ලද තොරතුරක් මත කළ වැටලීමේ දී කපා කුට්ටිකර තිබූ කුඹුක් කොට කිහිපයක් තමන් අත්අඩංගුවට ගත් බවත් කීවේය.


ඡායාරූප – මුන්නේශ්වරම සමූහ

http://www.dinamina.lk/2012/04/02/_art.asp?fn=r1204021

No comments:

Post a Comment