Saturday, November 5, 2011

සිගරැට්‌ මිල 10%කින් ඉහළ යන විට සියයට පහක්‌ දුම්පානයෙන් ඉවත් වෙනවා

ප්‍රභාත් විතාන, සිරිමන්ත රත්නසේකර

වෙළෙඳපොළේ රුපියල් 22 කට අලෙවි කරන සිගරැට්‌ එකක මිල රුපියල් 29 දක්‌වා වැඩි කළ හැකි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

මෙමගින් ශ්‍රී ලංකා රජයේ ආදායම වැඩි කරගත හැකි බවත් එම ආදායම ලබා ගැනීමට නම් වැඩි කරන සිගරැට්‌ මිල බදු ලෙස රජයට අයකරගත යුතු බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ උපදේශකවරයකු වන ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පැවසීය.

දුම්කොළ බදු වැඩිකර සිගරැට්‌ මිල ඉහළ දැමීම මගින් දුම්පානය අධෛර්යමත් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවත් සිගරැට්‌ මත නිවැරැදි බදු ප්‍රමාණයන් පැනවීම තුළින් රජයේ ආදායම ඉහළ යන අතර මහජන සෞඛ්‍ය ආරක්‍ෂා වන බවත් ආචාර්ය නිශාන් ද මෙල් මහතා කියා සිටියේය.

එමෙන්ම සිගරැට්‌ මිල සියයට 10 කින් ඉහළ යන සෑම අවස්‌ථාවකම සියයට 5 ක ප්‍රමාණයක්‌ දුම්බීමෙන් ඉවත් වන බව විදේශ රටවල් කරන ලද සමීක්‍ෂණවලින් තහවුරු වී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

මිලෙන් අඩු අනිකුත් දුම්කොළ නිෂ්පාදනයන්ගේද මිල ඉහළ දැමීම සඳහා රජය විසින් කටයුතු කළ යුතු බවත් (02 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආචාර්ය නිශාන් ද මෙල් මහතා පැවසීය.


http://www.divaina.com/2011/11/04/news18.html

No comments:

Post a Comment