Wednesday, November 9, 2011

ප්‍රමිතියෙන් තොර පෙට්රල් භාවිතයෙන් හානිවූ වාහන හිමිකරුවන් 380කට වන්දි ගෙවා අවසන්

දුමින්ද ගුරුගෙ, ස්වර්ණා විජේකෝන් සහ චමීර ඇල්ලදෙණිය

ප්‍රමිතියෙන් තොර පෙට්රල් භාවිතය නිසා හානියට පත් වූ පාර්ශ්වයන්ට වන්දි ගෙවීම මේ වන විට සිදුවන බව ද, දැනටමත් 380 දෙනකුට වන්දි ගෙවා අවසන් බව ද ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යෑම මත පෙට්‍රල් රුපියල් 12 කින්, ඩීසල් රුපියල් 08 කින් සහ භූමිතෙල් රුපියල් 10 කින් මිල ඉහළ දැමීමට සිදු වූ බව ද, තෙල් මිල ඉහළ යෑම සහ හෙජින් ගිවිසුම අතර හෝ ප්‍රමිතියෙන් බාල තෙල් තොගය හා සම්බන්ධයක් නැතැයි ද, ඇමැතිවරයා පැවසුවේය.

තෙල් මිල ඉහළ දැමීමෙන් පසුවද රජය ඩීසල් ලීටරයකින් රුපියල් 18 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 41 ක් ද, දැවිතෙල් ලීටරයකින් රුපියල් 35 ක් පාඩු ලබන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද ඇමෙරිකන් ඩොලර් 87 ක් වන බව පැවසූ ඇමැතිවරයා, ජෝන් අමරතුංග මහතා එය ඩොලර් 80 ක් බව පැවසීම සාවද්‍ය බව කීවේය.

ලෝකයේ අනෙක් රටවලට සාපේක්‍ෂව අපේ රටේ ඉන්ධන සඳහා අයකරන බද්ද ඉතාම සීමිත බව පැවසූ ඇමැතිවරයා, ඩිසල් ලීටරයක් සඳහා අයකරන්නේ රුපියල් දෙකක් (02) වැනි ඉතා සුළු මුදලක් බව ද කීය. එ. ජා. ප. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.

http://www.dinamina.lk/2011/11/09/_art.asp?fn=n1111099

No comments:

Post a Comment