Friday, December 23, 2011

අවුරුද්දට දෙපාරක්‌ ඒරුවැව පිටාර ගැලීමෙන් අපි බැට කනවා

ගම්වැසියෝ "දිවයින" ට දුක කියති

සටහන හා සේයාරූ-තිරප්පනේ - සමන් පෙරේරා


තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අංක 552 ඇතුන්ගම දකුණ තුලානේ ඒරුවැව ගම්මානයේ වැසියන්, ඒරුවැව පිටාර ගැලීමෙන් එන ජලය ගම්මානයට ප්‍රවේශ මාර්ගය හරහා ගලා ඒමෙන්ම ගමනාගමන ගැටලු රැසකට මුහුණපා තිබේ.

විශේෂයෙන් මාර්ගය හරහා අඩි 02 ක්‌ තුනක්‌ පමණ ජලයෙන් යටවෙයි. සෑම වර්ෂයකදීම දෙකන්නයට මෙම ගැටලුවට මුහුණපාන බව ගම්මු කියති. ඒරුවැව ගම්මානයේ පවුල් 58 ක්‌ පමණ ජීවත් වෙති.

ඒරුවැවේ වාන් වතුර ගම්මානයේ මාර්ගය හරහා ගලායැමෙන් ගම්මුන් විඳිනා දුක්‌ගැහැට පිළිබඳව "දිවයින"ට මෙසේ අදහස්‌ දැක්‌වී ය. ඊ. පානබොක්‌කේ මහතා

අප ගොවිතැනක්‌ බතක්‌ කරගෙන දුක්‌ මහන්සියෙන් තමා ජීවත් වෙන්නේ. අපි දුක්‌විඳලා කරන ගොවිතැනේ අස්‌වනු ටිකවත් කලට වෙලාවට නගරයට ගෙනියන්න ක්‍රමයක්‌ නැහැ. වැවේ වාන් වතුර පාර හරහා යන නිසා අපි සමහර දාට එහා ඉමේ සිට මෙහා ඉමට කර පිටින් බඩු ගෝනි ගේනවා. ඒ වගේ ගේනකොට සමහරු වතුරට ගහගෙන යන අවස්‌ථා තියෙනවා. ලොරිකාරයෝ ගමට එන්නේ නැහැ. මේක දෙකන්නයට ම අපිට සිද්ධ වෙන කරදරයක්‌.

කේ. ජී. අයිරාංගනී මහත්මිය

ඒරුවැව ගමේ ජීවත් වන දුප්පත් අහිංසක අපේ හඬට ඇහුම්කන් දෙන්න කිසිම කෙනෙක්‌ ඉදිරිපත් වෙලා නැහැ. නගරයට අවශ්‍යතාවකට යන්න අපි නොවිඳිනා දුක්‌ විඳිනවා. ගමනක්‌ බිමනක්‌ යද්දී හැතැක්‌මක්‌ විතර ගිහිල්ලා තමා අපි අලුත් ඇඳුම් ඇඳගන්නේ. උදේට ඉස්‌කෝලේ යන ළමයි කරපිටින් අපි එගොඩට ගෙනිහින් තමා ඉස්‌කෝලේ යවන්නේ. අපි මේ කරදරේ අවුරුදු ගාණක්‌ මුළුල්ලේ විඳිනවා. පාරට ලොකු බෝක්‌කු කටවල් ටිකක්‌ දාලා පාර උස්‌ කරලා හදලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි එක හඬින් කියන්නේ.

නිසංසලා දිල්හානි ශිෂ්‍යාව

අනාගතය ජයගන්න අභියෝගවලට මුහුණ දෙන අපිට අද ලොකුම අභියෝගයක්‌
වෙලා අපේ ගමට එන පාර. හැමතැනම වළවල් කාණු හෑරිලා. ඒ මදිවට පාරට උඩින් වතුර දානවා. අපි උදේට ඉස්‌කෝලේ යන්න පරණ ඇඳුම් ඇඳගෙන වතුර සැරපාර මඟහරවාගෙන මෙගොඩට ඇවිල්ලා තමයි නිල ඇඳුම් ඇඳගන්නේ. සපත්තු දාගන්නේ. මෙහෙම දුෂ්කර ගමනක්‌ ඇවිල්ලා එක හිතකින් අපට ඉගෙන ගන්න අමාරුයි. සමහර දවස්‌වලට ඉස්‌කෝලෙට එද්දී පරක්‌කු වෙලා. එතකොට ලොකු මානසික පීඩනයකින් තමා ඉස්‌කෝලෙට ඇතුළු වෙන්නේ. හෙට දවසේ අනාගතය භාරගන්න ඉන්න අපට රට කරවන මාමා ලාගෙන් අපි ඉල්ලන්නේ අපේ ගමට එන පාර හොඳට යන්න පුළුවන් විදිහට හදලා දෙන්න කියලා

සාලිත චතුරංග ශිෂ්‍යයා.

ගමේ පාර යටවෙලා හින්දා අපිට හරියට ඉස්‌කෝලේ යන්නවත් බැහැ. පාර යටවෙලා තිබුණ දවසේ මට දහම් පාසල් ශ්‍රේණි විභාගයට ලියන්නත් බැරි වුණා. විභාගයට යද්දී පරක්‌කු වෙලා. හැමදාම ඉස්‌කෝලේ යද්දී පරක්‌කු වෙනවා. ඒවගේම තෙමිච්ච ඇඳුමින් තමයි ඉස්‌කෝලේට ඇතුල් වෙන්නේ. අපේ ගමට එන මේ පාර උස්‌ කරලා හදලා දෙන්න කියලා අපි දේශපාලක මාමාලාගෙන් ඉල්ලනවා.

මංගලිකා පානබොක්‌කේ මහත්මිය

ඒරුවැව කියන්නේ ස්‌වාභාවික සම්පත් උපරිමයෙන් තියෙන ගමක්‌. ඒ නිසාම බොහෝ ව්‍යාපෘති ගම ඉලක්‌ක කරගෙන ක්‍රියාත්මක කිරීමට එනවා. ගමේ ඉන්න අයගේ ආර්ථික ශක්‌තිය හොඳයි. නමුත් ඔවුන්ට තිබෙන ප්‍රධාන අභියෝගයක්‌ තමා ගමට එන ප්‍රධාන ප්‍රවේශ පාර අබලන්වීම හා අවුරුද්දේ දෙපාරක්‌ පාර ජලයෙන් යටවීම. මේ නිසා ගොඩාක්‌ අයගේ ජීවිත කඩා වැටිලා වගේ බොහොම කලකිරීමෙන් තමා ඉන්නේ.

ඒරුවැව ගම්මානයේ මිනිසුන් විඳිනා මේ දුක්‌ ගැහැට තවදුරටත් ගැටලුවක්‌ බවට පත් නොකොට ඔවුන්ගේ ජීවිත එළිය කරන්නට බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුය


http://www.divaina.com/2011/12/23/news17.html

No comments:

Post a Comment