Monday, April 2, 2012

එප්පාවල කටියාව යාය 2 ප්‍රජාමූල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් අඩාළයි

  • පවුල් 135කට වතුර නෑ
  • ඉදිකිරීමට ගෙනා ඇතැම් භාණ්ඩ විකුණලා

එප්පාවල සමූහ බී. ඒකනායක

2007 දී රුපියල් කෝටියකට වැඩි වියදමකින් ආරම්භ කළ කටියාව යාය 2 ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රමය තවමත් දිය කඳුළක් බෙදා දී ගත නොහැකිව අඩාල වී තිබේ.


මුලදීම අනුරාධපුර ද්විතීයික නගර හා ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ කටියාව ස්වශක්ති ප්‍රජා මූල ජල සම්පාදන සමිතිය පිහිටුවා ගත් අවස්ථාවේ වසර 1 1 / 2 ක් ඇතුළත පානීය ජලය නිවාසවලට ලබා දෙන්නේ යයි ප්‍රතිඥා දී පටන්ගත් මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය වසර පහක් ගතවී ඇති අදටත් එහි වැඩ අතර මඟය.

මේ අන්දමට තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ පටන්ගත් තිරප්පනේ ජල යෝජනා ක්‍රමය සහ ගැටදිවුල ජල යෝජනා ක්‍රමය අදටත් අක්‍රියව පවතී.

කටියාව යාය 2 ජනපදයේ පවුල් 135 කගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ඇරඹි මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය මේ අන්දමට වසර පහක් ගතවී ගිය තැනත් බීමට දිය පොදක් දීමට නොහැකිව අඩාල වීමට හේතු මන්දැයි ජනතාව විමසති.

ප්‍රජාමූල ජල සම්පාදන සමිතියේ සභාපති බණ්ඩාර මහතා

මම මේ සමිතියේ සභාපතිකමට පත්වූයේ 2011 දී. මට කලින් මේ සමිතියේ සභාපතිවරු තිදෙනෙක් හිටියා. භාණ්ඩාගාරිකවරු තිදෙනෙක් හිටියා. 2011 දී මම මේ සමිතිය බාර ගන්නා විට ජල සම්පාදන ව්‍යාපෘතියේ බොහෝ වැඩ කෙරිලා තිබුණේ නෑ. ජල මෝටර් 2 ක් විකුණලා. සටරින් එක රුපියල් ලක්ෂ 1 1 / 2 කට විකුණලා. ඒවායේ සල්ලි ආ ගිය අතක් නෑ. දැන් ඉතිරි වැඩ අවසන් කරලා වතුර දෙන්න සල්ලි නෑ.

මේ ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුªªවෙන් රුපියල් අනූ අට ලක්ෂයක් ඇස්තමේන්තු කර රුපියල් හැට හතර ලක්ෂයක් සමිතියට දී තියෙනවා. ඒ වගේම පවුලකින් රුපියල් 8500 ගානෙ පවුල් 135 කින් රුපියල් ලක්ෂ 11 1 / 2 ක් එකතු කර තියෙනවා. මේ ඇරෙන්න ගමේ හැම පවුලකින්ම දින 15 සිට 25 දක්වා කාලයක් ජල ව්‍යාපෘතියට ශ්‍රම දායකත්වය දීල තියෙනවා. ඒත් අදටත් වතුර නෑ.

ලොකු ළිඳක් කපල බැඳල තියෙනවා. පරීක්ෂණ අනුව ළිඳේ වතුර බීමට හොඳයි. ගමකට නෙමෙයි ගම් දහයකට ඇති වෙන්න ළිඳේ වතුර පිරිලා. ඒත් තවමත් ළිඳ පියන්පත්වලින් වහල නෑ. ජල ටැංකියේ ජල කාන්දුවක් තියෙනවා. ජල මාර්ගවල අඩුපාඩු එමටයි. නිවාසවලට ජල මීටර දීල නෑ.

ලේකම් ඥානවතී මැණිකේ මහත්මිය

මේ ජල සම්පාදන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු අනූඅට ලක්ෂයෙන් අපට දුන්නේ හැට හතර ලක්ෂයක් පමණයි.

තව තිස් හතර ලක්ෂයක් ද්විතීයික නගර හා ග්‍රාමීය ප්‍රජා මූල ජල සම්පාදන ඒකකයෙන් අපට දෙන්නේ නෑ.

මම 2007 ඉඳලම මේ සමිතියේ ලේකම්. ඒ මුදල ලැබුණොත් ඉතිරි වැඩ ටික ඉවර කරල වතුර දෙන්න පුළුවන්. සමිතියේ භාණ්ඩාගාරිකවරු තුන්දෙනෙක් හිටියා.

එක් කෙනෙක් රට ගිහිං. අලුත් සභාපතිවරයා නම් මෙය ඉවරයක් කරන්න හදනවා. ඒත් වැඩ කරන්න සල්ලි නෑ. ඇස්තමේන්තුවේ විදියට ඉතිරි රුපියල් තිස් හතර ලක්ෂය අපට ලැබුණොත් මේ වැඩ ටික ඉවර කරල ගමට විතරක් නෙමෙයි ගමෙනුත් එහාට පවුල් තුන් හාරසීයකට වතුර දෙන්න පුළුවන්. ළිඳේ වතුර ඉතාම හොදයි. ගම් හතකට පිරි මහන්න ළිඳේ වතුර තියෙනවා.

නිසි අධීක්ෂණයක් නිවැරදි මූල්‍ය කළමනාකරණයක් නිවැරදි තාක්ෂණයක් ගමට නැති නිසා ගමේ සමහර අය අතට පත්වන මුදල් අපතේ යමින් ව්‍යාපෘති අඩාල වන බව මෙම පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම අධ්‍යයන කිරීමෙන් පෙනී ගොස් ඇති බව එක් නිලධාරියෙක් පැවැසීය.

කෙසේ වුවද කටියාව යාය 2 ජල සම්පාදන යෝජනා ක්‍රමය පිළිබඳව නිසි අධ්‍යයනයක් කොට දැනට ඇනහිට ඇති එම ජල සම්පාදන යෝජනා ක්‍රමය පවුල් 135 ක් වෙනුවෙන් සක්‍රීය කර දෙන ලෙස ගමේ අය ඉල්ලා සිටිති.

http://www.dinamina.lk/2012/04/02/_art.asp?fn=r1204024

No comments:

Post a Comment